Saturday, August 29, 2009

මේ විභේදනය මෙච්චර වැදගත් ඇයි?

විභේදනය කියන එක සරළවම හැඳින්වුවොත් ඒකෙන් කියන්නෙ ඡායාරූපයේ විශාලත්වය ගැන. විභේදනය වැඩි වෙන්න වැඩි වෙන්න ඡායාරූපයේ විශාලත්වය වැඩි වෙනව.
බලන්න මේ වගුව. ඒකෙ පෙන්නන්නව ඒ ඒ විභේදන වලින් ගත්තු ඡායාරූපයක් තත්වය බාල නොවී මුද්‍රණය කර ගත හැකි විශාලත්ව.

විභේදනය
මුද්‍රණ කඩදාසියේ ප්‍රමාණය (අඟල්)
1 MP
4×6 5×7
2 MP
5×7 – 8×10
4 MP
8×10 – 11×14
8 MP
11×14 හා ඊට විශාල

මම නම් ඔබට යෝජනා කරන්නෙ 2 – 3 MP වගේ අගයක් තෝරා ගන්න කියල. එතකොට එය ඔබට, මුද්‍රණය කරන්නත් පරිගණකයක් තුළ තබා ගන්නත් හොඳ තත්වයක් ලබා දෙනව.
සැළකිය යුතුයි:
ඩිජිටල් කැමරාවකින් ලබා ගන්නා 2 MP ඡායාරූපයක තත්වය, 2 MP ජංගම දුරකථන කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපයක තත්වයට සමාන කළ නොහැකිය.
හේතුව:
ජංගම දුරකතනයක ඇති කැමරාවේ කාචය ඉතා කුඩා බැවින් ලබා ගන්නා ආලෝක ප්‍රමාණයද අඩුය, එම නිසා එමගින් ලබා ගන්නා ඡායාරූපයක් එම තත්වයන් යොදා ලබා ගන්නා ඩිජිටල් කැමරා ඡායාරූපයකට වඩා තත්වයෙන් අඩුය.

Tuesday, August 25, 2009

ඡායාරූපයක තත්වය (Quality)

ඡායාරූපයක් ගැනීමට පෙර තමුන් එම ඡායාරූපය භාවිතා කරන්නේ කුමනාකාරයේ ක්‍රියාවක් සඳහාද කියා සිතා බැලිය යුතුයි. නැතිනම් අනවශ්‍ය ලෙස මතකය අහක යාවි, හෝ ඡායාරූපයේ තත්වය අවශ්‍යතාවය සඳහා නොගැලපේවි.

සේයා පට භාවිතා කරන කැමරා වල බැරි උනත්, සාමාන්‍ය ඩිජිටල් කැමරාවක උනත් (ජංගම දුරකතන කැමරාවකත්), ඡායාරූපයේ තත්වය වෙනස් කිරීම සඳහා විකල්ප තිබෙනවා. ඡායාරූපයේ තත්වය, එය මතකය තුළ (CF card/memory card) ලබා ගන්න ඉඩ ප්‍රමාණයට හා ඡායාරූපයේ දිග පළලට කෙලින්ම බලපානව.

ඔබ ඡායාරූපය ලබා ගන්නෙ වෙබ් පිටුවක යොදා ගන්න නම් පෝස්ටරයක් ගහන්න තරම් ගැළපෙන ඡායාරූපයක් අරගෙන වැඩක් නෑනෙ නේද?

මගේ මතය අනුව වෙබ් පිටුවකට යොදා ගැනීමට නම් විභේදනය (resolution) 640 × 480 (0.7 MP) හා 1728 × 1152 (2.1 MP) අතර තත්වයක් තිබෙන විකල්පයක් තෝරා ගැනීම ගැළපෙනව. එවිට ලැබෙන ඡායාරූපයක file size එක 1MB වලට වඩා අඩුයි.

ඔබ ඡායාරූපය මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවනම් හෝ එය පරිඝණකය තුළ ගබඩා කර තබා ගැනීමට බලාපොරොත්තු වෙනව නම් ඔබට වඩාත්ම ගැළපෙන්නෙ 2 MP හා 6 MP අතර විකල්පයක්. එවිට ඔබේ ඡායාරූපය, 1MB හා 3MB අතර මතකයක් ලබාගන්නව.

ඔබ සාමාන්‍ය ප්‍රමාණයක විශාල පෝස්ටරයක් මුද්‍රණය සඳහා නම් ඡායාරූපය ගන්නෙ ඔබ අනිවාර්යයෙන්ම ඉහළ විභේදනයකට යායුතුයි. 8MP ඔබේ වැඩේට ගැළපේවි.

ඔබ මෙම ලබාගන්නා ඡායාරූපය පරිගණකය හා photo editing software එකක් භාවිතා කරල වෙනස් කිරීම් වලට භාජනය කරන්න, කෑලි කපන්න බලාපොරොත්තු වෙනවනම්, තිබෙන විශාලම විභේදනය භාවිතා කිරීමට මම යෝජනා කරනව. (RAW file format) හැබැයි එතකොට ඔබේ මතක චිපයේ රඳවා ගත හැකි ඡායාරූප ප්‍රමාණය නම් හරිම පොඩ්ඩයි.

විභේදනය ගැන ඊළඟට කතා කරමු.

Saturday, August 15, 2009

ආධුනිකයන් සඳහා

ඔබ ඡායාරූපකරණයට හා ඒ සමඟ බැඳුනු තාක්ෂණයට අලුත් අයෙක් නම් ඔබට ගැළපෙනම කැමරාව තමයි, සාමාන්‍ය Point and Shootවර්ගයේ digital හෝ analog කැමරාවක්. මොකද කිව්වොත්, ඒකෙ හදන්න මහලොකු settings and configurations නෑ, හිතන්න මහලොකු දේවල් නෑ. මොකක් හරි ගන්න හිතුනොත් කැමරාව ඒ දෙසට මෑනුව, ගත්ත. පස්සෙ පුලුවන් ටික ටික ඉගෙන ගෙන ඉස්සරහට යන්න.

කාලෙ ගත වෙනකොට, ඡායාරූපකරණය ගැන දැනුම වැඩි වෙනකොට සල්ලි ටිකකුත් එකතු කරගෙන එහෙම පුලුවන් සාමාන්‍ය මට්ටමේ හෝ දියුණු SLR එකක් ගන්න.

ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද?

සරලව කිව්වොත්, "චලනය වන හෝ නිශ්චල දෙයක සේයාරුවක් ලබා ගැනීමේ කලාව" තමයි ඡායාරූපකරණය කියල හඳුන්වන්නෙ. මේ සඳහා භාවිතා කරන උපකරණය තමයි, "කැමරාව".



කැමරාවේ ඇතුළත ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම නම් ඡායාරූපයක් ගැනීම සඳහා වැදගත් නොවන නිසා ඒ ගැන කතා කලයුතුයි කියල මම හිතන්නෙ නෑ. ඒත් කෙටියෙන් කියන්නම්. කැමරාව යම් දෙයකට යොමුකරල ඡායාරූපයක් ගැනීමේදී වෙන්නෙ, ඒ දෙයින් එන ආලෝකය කැමරා කාචය හරහා, කැමරාව තුළ ඇති සේයා පටය හෝ සංවේදක චිපය මතට වැදීමේදී ඇති වන සංවේදන අනුව ඒ මත අර කිව්ව දේවල් වල රූපයක් සටහන් වීම.

චිත්‍ර ශිල්පියෙක් තමුන්ගෙ පින්සල භාවිතා කරල වර්ණ හා ආලෝකය පාලනය කරනව වගේ, ඡායාරූප ශිල්පියෙක් කරන්නෙ, තියෙන ආලෝක තත්ව යටතේ ඒ ආලෝකය තමුන්ට ගැලපෙන විදිහට කලාත්මක විදිහට භාවිතා කරල කලාත්මක ඡායාරූපයක් ගන්න එක.

එක අතකින් බැලුවොත් ඡායාරූපකරණය කියන්නෙ මිල අධික කලාවක්. ඒක නිකම්ම නිකම් පුද්ගල ඡායාරූපයක් ගැනීමවත් භූදර්ශනයක ඡායාරූපයක් ගනීමවත් නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්.

වෘත්තීය මට්ටමේ හෝ ආධුනික ඡායාරූප ශිල්පීන් කැමති ඡායාරූපකරණයේ එක එක පැති තියෙනව. වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් පුවත්පත් කලාව හා සම්බන්ධ ඡායාරූප ගන්න අතරෙ, ආධුනිකයෙක් භූදර්ශන ඡායාරූපකරණයට කැමති වෙන්න පුලුවන්. ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත හා චින්තනය මත පදනම් වෙනවා.

Friday, August 14, 2009

අලුත් බ්ලොග් එකක්


මම හිතුව අලුත් බ්ලොග් එකක් පටන් ගන්න, "ඡායාරූපකරණය" ගැන. මහ ලොකු දේවල් නෙමෙයි, මම මේ පහුගිය June term එකේ ඉගෙනගත්තු ඡායාරූපකරණය පිලිබඳ මූලික සංකල්ප ටික ගැන ටිකක් ලියන්න.

මමත් මහලොකු දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි, ඒත් පොඩි පොඩි දේවලුත් දන්නෙ නැති අය ඉන්නවනෙ. මොකද කට්ටිය හිතන්නෙ? සිංහලෙන් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ. තව ඉතින් ඒ ගැන හොඳ දැනුමක් තියෙන කීපදෙනෙක් සෙට් කරගත්තොත් නම් ගොඩම තමා.