Showing posts with label reflectors. Show all posts
Showing posts with label reflectors. Show all posts

Sunday, October 25, 2009

විසරක (Diffusers) භාවිතය

මොනවද මේ විසරක (diffusers)? 
විසරකයකින් කරන්නෙ, සැණෙළියෙන් හෝ වෙනත් ආලෝක ප්‍රභවයකින් පැමිණෙන ආලෝකය විසුරුවා හැර, තද සෙවණැලි, තියුණු ලෙස ආලෝකවත් වූ ප්‍රදේශ, දිලිසුම් ඇතිවන ප්‍රදේශ, නැති කර ආලෝකය හරි හැටි පාලනය කිරීමයි. වෙනත් වචන වලින් කිව්වොත් ආලෝකය මෘදු කිරීම තමයි විසරකයකින් වෙන්නෙ. 
ඔබේ කැමරාවේ සැණෙළිය සමඟ පහත රූපයේ වැනි විසරකයක් ලැබුනා නම් එය අනිවාර්යයෙන් සැණෙළියට සවි කරගත යුතුයි.

බලන්න මේ ඡායාරූප දිහා, මේවා අරන් තියෙන්නෙ හිරු එළිය යටතේ. ඉහළ ඡායාරූපය අරන් තියෙන්නෙ විසරකයක් භාවිතා කරල සූර්යයාලෝකය විසුරුවා හැරල. පහළ ඡායාරූපය අරන් තියෙන්නෙ ඍජුව වැටෙන සූර්යාලෝකය යටතේමයි. 


බලන්න වෙනස. විසරකයක් භාවිතා කළාම තියුණු දිලිසීම්, වස්තුව අපැහදිලිවීම් නැතිවී තිබෙනව.

විසරක මිලදී ගැනීමට එතරම් මහන්සි වෙන්න, මුදල් වියදම් කරන්න අවශ්‍ය නෑ, ඔබටම පුළුවන් ඔබේම විසරක සාදා ගැනීමට. හරිම සරළයි. 
කුමක් හෝ පාරභාෂක (Semi transparent) දෙයක් භාවිතා කිරීම තමා කළ යුත්තේ. තෙල් කඩදාසියක්, පාරභාෂක ප්ලාස්ටික් ටින් පියනක් වැනි දෙයක් පහසුවෙන්ම විසරකයක් ලෙස භාවිතා කළ හැකියි. 
මම පරාවර්තක ගැන කියද්දි අර ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ ගැන කිව්ව මතකද? ඒවා මොකටද භාවිතා වෙන්නෙ කියල මම ඒ වෙලාවෙ කිව්ව. 
ඒව භාවිතා වෙන්නෙ, පරාවර්තක හා විසරක ලෙස.

Wednesday, October 21, 2009

පරාවර්තක (Reflectors) භාවිතය

පරාවර්තකයක් කියන්නෙ රෙදිවලින් හෝ එවැනි ද්‍රව්‍යයකින් සෑදූ රිදී වැනි දිලිසෙන ද්‍රව්‍යයක් ආලේප කරන ලද තිරයක් වැනි දෙයක්. එමගින් කරන්නෙ තද සූර්යයාලෝකය, සැණෙලියෙන් ලැබෙන තද ආලෝකය, පරාවර්තනය කර එම ආලෝකය නොලැබෙන ස්ථාන ආලෝකමත් කිරීම. ඔබ දැකල ඇතිනෙ ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ, ඒවා භාවිතා වෙන්නෙ පරාවර්තක ලෙස. (විසරක (Diffusers) ලෙසත් ඒවම භාවිතා වෙනවා.)



තද ආලෝක තත්ව යටතේ පුද්ගල ඡායාරූප ගන්නකොට ඒ පුද්ගලයාගේ මුහුණට ආලෝකය කෙලින්ම නොවැටෙන්න වග බලාගන්න. ඇස් පුංචි කරගෙන වපර කරගෙන ඡායාරූපයකට ඉන්න බෑනෙ.
ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයාගේ මුහුණට පහළින් පරාවර්තකයක් තබන්න. (හැබැයි ඡායාරූපයට අහුවෙන්න නෙමෙයි.) එමගින්, අස් අවට, නාසය පහළ, නිකට, බෙල්ලේ ඉහළ කොටස වගේ හරියට ආලෝකමත් නොවූ ස්ථාන ආලෝකමත් කරගන්න.
ඇතුළත ස්ථානයකදී ජනේලයක් අසලදී, පුද්ගලයෙකුගේ, වස්තුවක, සුරතලෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී ජනේලයට අනෙක් පසින් පරාවර්තකයක් අටවා, ඇතිවන සෙවණැලි වළක්වා ගන්න පුළුවන්.