Thursday, October 14, 2010

"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි

"Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය පටන් ගත්තෙ හරියටම 2009 වසරේ අද වැනි දිනක (08.14 වන දින)
මුල්ම ලිපිය උනේ මෙන්න මේක.
මේ අඩවිය පටන් ගන්න හේතු උනේ, මම විශ්ව විද්‍යාලයේදී ඡායාරූකරණය ඉගෙන ගැනීම. ඒ හරහා මට ඡායාරූපකරණය ගැන ලොකු ආසාවක් ආව. ඒ ගැන තව තවත් ඉගෙන ගන්න ඕනෙ උනා, ඒ එක්කම, ඒ දැනගන්න දේවල් අනෙත් අය එක්ක බෙදා හදා ගන්න ඕනෙ උනා. 
ඉතින් ඒ වෙනුවෙන් මම මේ අඩවිය සකස් කළා. 
ඉතින් මම ලෙක්වර් වල ඉගෙන ගත්තු දේවල් පිළිබඳ ලිපි ලිව්ව, තව තවත් වෙනත් අඩවි, පොත් මගින් තවත් ඉගෙන ගත්ත, ඒ ඉගෙන ගන්න දේවල් ගැන ලිව්ව.
ඔන්න ඔය අතරෙ LKServers ආයතනයෙන් ඔවුන්ගේ Promotion එකක් විදිහට සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් අවකාශයක් ලබා දෙන වැඩසටහනක් පැවැත්වුවා, මමත් ඒකට ඉල්ලුම් කළා, මගෙ මේ බ්ලොග් අඩවියටත් ඒ අවස්ථාව ලැබුනා.
ඉතින් මගෙ මේ "Photography සිංහලෙන්" අඩවිය Blogger මතින් Self hosted Wordpress මතට Roosara කියන නමත් එක්ක, මාරු උනා. (ඒ 2010 මාර්තු මස)

මේ වසර තුළ මෙම බ්ලොග් අඩවියට "සතියේ ඡායාරූපය"  කියල අළුත් අංගයකුත් එකතු උනා. තවත් දේවල් කිහිපයක් ඉදිරියේදී එකතු වෙන්න තිබෙනවා. මනුශාන් සහෝදරයා එක්ක, තවත් දේවල් කිහිපයක් සැලසුම් කරමිනුයි ඉන්නෙ.
මේ වසරක කාලය තුළ මෙම අඩවිය එක්ක එකතු වෙලා හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. බ්ලොගර් වල සිට වර්ඩ්ප්‍රෙස් මතට ඒමත් සමඟ comments නම් සැළකිය යුතු ලෙස අඩු උනා, හේතුවක් නම් දන්නෙ නෑ. නමුත් එන අයගේ නම් අඩුවක් දැනුනේ නෑ.
ඉදිරියටත් මේ හැමෝම මෙම අඩවිය එක්ක එකතු වෙලා ඉදීවි කියල විශ්වාස කරනවා. 
ඔබ ඕනෑම කෙනෙකුට පුළුවන් මෙම අඩවියට සහයක් වෙන්න, විශේෂයෙන්ම ලිපි ලිවීමෙන්. (මටත් තිබෙන කාලය ටික ටික අඩු වෙලා යනවා.)

එහෙනම්, "රූසර අඩවියට සුභ උපන්දිනයක් වේවා!!!"

Saturday, July 31, 2010

රාත්‍රී දර්ශන ඡායාරූපකරණය

සාමාන්‍යයෙන් රාත්‍රියේ ඡායාරූප ගන්නව කියන්නෙ, අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නව කියන එකටයි. ආලෝකය අඩු නිසා, කැමරාවෙ විවරය (aperture) වැඩි වෙලාවක් විවරව පැවතිය යුතුයි. ඒ එක්කම වඩා දිගු නිරාවරණයක් (longer exposure) හා අඩු shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් පුළුවන් කාච භාවිතා කරන්න. ඔයාට වේගවත් නිරාවරණ වේගයක් ලබාගන්න ඕනෙ නම් ISO එක වැඩි කරන්න. නමුත් මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, ISO වැඩි වෙනකොට ඡායාරූපයේ noise එක වැඩි වෙනව කියන එක.

සම්පූර්ණ ලිපියට >>>

Saturday, July 24, 2010

පරිසර දර්ශන ඡායාරූපයට නැගීම

හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.

සම්පූර්ණ ලිපිය කියවන්න.

Wednesday, July 14, 2010

ක්‍රීඩා වල ඡායාරූප ගැනීම

ක්‍රීඩා කියන්නෙ ඉතා වේගවත් ක්‍රියාකාරකම් තියෙන අවස්ථා, ඉතින් ඒ වගේ වෙලාවල් වල ඡායාරූප ගන්නකොට හරියට අවශ්‍ය දේ ගන්න වේගවත් වෙන්න ඕනෙ.
ඔබට සැලැස්මක් තියෙන්න ඕනෙ. මුලින්ම තීරණය කරල ඉන්න ඔබට ගන්න ඕනෙ මොනවගේ අවස්ථාද කියල. අනිවාර්යයෙන්ම ඒ අදාල ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන්න ඕනෙ, ඔබට අවශ්‍ය ආකාරයේ ඡායාරූප ගන්න නම්.
පුළුවන් තරම් උත්සාහ කරන්න, ඡායාරූප ගන්න ඉතාම ගැළපෙන තැනින් කැමරාව තියාගන්න. ක්‍රීඩාවේ හැටියට එම ස්ථානය වෙනස් වෙන්න පුළුවන්, නමුත් ඉර ඔබට පිටුපසින් තබාගන්න.

Friday, June 25, 2010

සමූහ ඡායාරූපයක් ගැනීම

අද අපි කතා කරන්නෙ සමූහ ඡායාරූප ගැනීම ගැන.
බොහෝ වෙලාවට සමූහ ඡායාරූපයක් ගන්නව කියන්නෙ එක පාරටම කරන්න බැරි දෙයක්. එහෙම පුළුවන් උනොත් ඉතින් වාසනාව තමයි. සමූහ ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට ඡායාරූප ශිල්පියාට සිදුවෙනවා, ඡායාරූපයට ගැළපෙන විදිහට වටපිටාව හා පුද්ගලයින්ව සකසා ගන්න. ඒක නිසා කොයි වෙලේවත් පසුබටවෙන්නෙපා, අධ්‍යක්ෂක වෙලා, ඉන්න කට්ටියට කියන්න, කොහොමද/කොයි තැන් වලද හිටගන්න ඕනෙ, ඉඳගන්න ඕනෙ, කොහොමද ඉන්න ඕනෙ, කියල. හැබැයි කට්ටියව හුඟක් වෙලා රස්තියාදු කරන්න නම් එපා.

Saturday, June 19, 2010

පුද්ගල ඡායාරූප ගැනීම – 2

ඡායාරූපයට ලක් වෙන පුද්ගලයාව ජනේලයක් අසලින් තබනවා නම් අංශක 45ක ඇලයකට ආලෝකය වැටන විදිහට තියන්න. මුහුණේ අඳුර වැටි තිබෙන පැත්ත පරාවර්තකයක් භාවිතා කරල ආලෝකමත් කරන්න. නිවෙස තුළ තිබෙන විදුලි පහනක් උනත් කමක් නෑ, හැබැයි ඒකත් අංශක 45ට වැටන්න තියෙන්න පුළුවන් නම් හොඳයි. (අංශක 45ට තියෙන කොට තමා ලස්සනටම ආලෝකමත් වෙන්නෙ, සෙවණැළි අඩු වෙන්නෙ.) පුද්ගල ඡායාරූප වලට අවශ්‍යම විශේෂම දේ තමයි මෘදු ආලෝකය. තව මතක තියාගන්න ඕනෙ දේවල් තමයි, හරියට white balance එක හදන්න, සැණෙලියක් භාවිත කල යුතු නම් Red eye reduction ක්‍රියාත්මක කරන්න.

Sunday, May 30, 2010

වර්ණ රටා හා හැඩතල භාවිතා කරන්න

බලන්නකො මේ ඡායාරූපය. ඔයාලත් ඡායාරූපයක් ගන්නකොට, වටපිටාවේ තියෙන වර්ණ, හිතල අල්ලන වර්ණ රටා ඡායාරූපයට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒකෙන් ඡායරූපයට තවත් වටිනාකමක් එකතු වේවි.


සම්පූර්ණ ලිපියට >>>

Saturday, May 22, 2010

රාමුව තුළ වස්තූන්ගේ චලනයන් ගැන සැළකිලිමත් වෙන්න

ඔබ ඡායාරූපයට නගන වස්තුව, පුද්ගලයා, සත්වයා චලනය වෙන දෙයක්/කෙනෙක් නම්, එම වස්තුවට/පුද්ගලයාට/සත්වයාට ඡායාරූපයේ රාමුව තුළ චලනය වෙන්න ඉඩ තියෙන විදිහට ඡායාරූපය ගන්න.


ඒ කියන්නෙ, උදාහරණයක් විදිහට මේ පහත තියෙන ඡායාරූපය ගනිමු. මෙහි ඇති මෝටර් රථය මාර්ගය දිගේ ඉදිරියට දිවෙනව. අපි ඡායාරූපය ගන්නකොට එම වාහනයට පිටුපසින් නෙමෙයි, ඉදිරියෙන් ඉඩ තියන්න ඕනෙ, එතකොටයි ඒ ඡායාරූපයේ තිබෙන වස්තුව චලනය වෙනවා වගේ අපිට පේන්නෙ, ඒ හැඟීම එන්නෙ. එතකොටයි ඒ ඡායාරූපයට ජීවයක් ලැබෙන්නෙ. හැමෝම කැමති තමුන්ගෙ ඡායාරූපය තාත්වික වෙන්නනෙ, මේ කියන විදිහට ගත්තම ඒ ගතිය ඔයාලට ඔයාලගෙ ඡායාරූපයට ලබල දෙන්න පුළුවන්. (මේ කතාව සම්බන්ධ පරණ ලිපියකුත් තිබෙනව, ඒකත් කියවල බලන්න.)


සම්පූර්ණ ලිපියට >>>

Saturday, May 8, 2010

ආලෝකයේ අසමානතා භාවිතා කරන්න (use Contrast)

Contrast කියන එක ආලෝකය වගේම වර්ණ ගැන කතා කරනකොටත් අදාළ දෙයක්. වර්ණ වල අසමානතා, ආලෝකය අඳුර, නිවැරදිව යොදා ගන්නව නම්, ඒ හරහා ඉතාම කලාත්මක නිර්මාණයක් කරන්න පුළුවන්. ආලෝකය හා අඳුර එකට එකතු කිරීම මගින් ඒ දෙක අතර ඉතාම හොඳ ඝට්ටනයක් ඇති කරල ඉතාම ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්.


සම්පූර්ණ ලිපියට >>>



Saturday, May 1, 2010

ක්ෂිතිජය සෘජුව තබා ගන්න

සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට අපි ඒක සෘජුව ගන්නව. නිර්මාණාත්මක දෙයක් ගොඩනඟන්න ඕනෙ උනාම පොඩ්ඩක් ඇල කරල එහෙමත් ඡායාරූප ගන්නව. නමුත් ඔයාල ක්ෂිතිජය සහිත ඡායාරූපයක් ගන්නවනම් මම යෝජනා කරන්නෙ අනිවාර්යයෙන්ම ඒක සෘජුව ගන්න කියල, ඒ කිව්වෙ ක්ෂිතිජය ඡායාරූපයේ රාමුවට (තිරස් පැත්තට) සමාන්තරව එන විදිහට ඡායාරූපය ගන්න. ඔයට ඕනෙ නෑ නෙ රාමුව තුල තියෙන දේවල් රාමුවේ එක පැත්තකින් එලියට වැටෙන්න දෙන්න?


සාමාන්‍යයෙන් බොහොමයක් ඩිජිටල් කැමරා වල තියෙනව ග්‍රිඩ් එකක් ලබා ගැනීමේ පහසුකම. මෙ වගේ වෙලාවකට ඒක පාවිච්චි කිරීමෙන් ඔයාල්ගෙ වැඩ ගොඩක් පහසු වෙයි.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>

Saturday, April 24, 2010

සමබරතාවය ගැන හිතන්න

රාමුව තුළ ඡායාරූපයේ සමබරතාවයක් තිබුනෙ නැත්තම් ඡායාරූපය එතරම් ඇසට ප්‍රියජනක වෙන්නෙ නෑ, ඒක නිසා සමබරතවය හරිම වැදගත්.


සමබරතාවය කියන එක වර්ණ වලින්, රාමුව තුළ තියෙන වස්තූන්ගෙන්, එහෙමත් නැත්තම් වර්ණ වල තද ලා බවෙන් වෙන්නත් පුළුවන්. ඒ ඒ වස්තූන්, වර්ණ හරි හැටි ස්ථානගත කිරීමෙන් ඔයාගෙ ඡායාරූපයේ සමබරතාවයක් ඇති කරගන්න.


මේ කියන සමබරතාවය, සමමිතික (විධිමත් එකක්, ස්ථිතික එකක්) වෙන්නත් පුළුවන්, අසමමිතික (අවිධිමත් නැත්තම් ගතික) වෙන්නත් පුළුවන්.


හිතන්න, සමමිතික ඡායාරූපයක තියෙන දේවල් නැවතිලා තියෙනව වගේ, උදාහරණයක් ගත්තොත් හිතන්න බයිසිකලයක නැගල වේගෙන් යන පාපැදිකරුවෙක්. එයාව අපි රාමුවේ මැදට ගත්තොත් අපිට එකපාරටම හිතෙන්නෙ එයා නැවතිලා කියලයි. නමුත් හිතන්න ඒ පාපැදි කරුවම රාමුවේ පැත්තකට ගත්තොත්? බලන කෙනාට හැඟීමක් එනව එයා ගමන් කරනව කියල. (මතකද දැන්නෙ නෑ පරණ ලිපියක මේ ගැන කියල තිබ්බ, රුවල් බෝට්ටුවක උදාහරණයක් සමඟ, ඒක බලන්න මෙතනින් යන්න)


සම්පූර්ණ ලිපියට >>>

Saturday, April 17, 2010

පසුබිම පිරිසිදුව තබා ගන්න

හුඟක් අය ඡායාරූපයක් ගන්නකොට හිතන්නෙ, මිනිස්සුන්ගෙ ඔළුව කපන්නෙ නැතුව ඡායාරූපය ගන්න එක ගැන විතරයි. ඒත් එයාල කරන ලොකු වැරැද්දක් තියෙනව. ඒ තමයි ඡායාරූපයට අනවශ්‍ය වස්තූන් ගොඩාක් ඇතුළු කර ගැනීම. ඒකෙන් ඡායාරූපයේ නාභිගත කරල තියෙන වස්තුවට ලොකු පාඩුවක් වෙන අතරෙම නරඹන්නාව වල්මත් කරනු ලබනවා. නරඹන්නා අසීරුවට පත් කරනව.


ඒ නිසා ඡායාරූපයේ පසුබිම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව. අපිරිසිදු කමින් මොකුත්ම ලැබෙන්නෙ නෑ, ඡායාරූපය කැත වෙලා අපිළිවෙල වෙන එක විතරයි වෙන්නෙ.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>

Saturday, April 10, 2010

Point-&-Shoot කැමරාවකින් Depth එක පාලනය කරමු

කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම
sony_dsc_w30_digital_camera_1.jpg
කලින් ලිපියෙදී අපි ඡායාරූපයක් ගන්න විට එහි ගැඹුර පාලනය කරන හැටි ගැන කිව්වා මතක ඇති. ඒක බැලුවේ නැත්නම් මේ ලිපිය කියවන්න කලින් ඒක කියවන්න. (http://roosara.info/2010/04/depth-of-field/ ) සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය ගැන කතා කරන විට ඒකට අනිවාර්යයෙන් ම පදනම් වෙන්නේ SLR කැමරාව. ඒත් බහුතරයක් වන විනෝදාංශයක් හැටියට, ආසාවට Photos ගන්න අය පාවිච්චි කරන්නේ Point-&-Shoot කැමරා (Compact Digital Camera). මේ අයට ඡායාරූප ශිල්පයේ සිද්ධාන්න අයිති නැත් ද ? අපි මෙතන කියන වැඩ කෑලි දාලා ලස්සනට ඡායාරූපයක් ගන්න SLR කැමරාවක්ම ඕනෙද

Saturday, April 3, 2010

Depth of Field | ක්ෂේත්‍ර ගැඹුර ගැන තවත් විස්තර

කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම
අපේ පාඨකයන්ට මතක ඇති මී‍ට පෙර ලිපියකින් (http://roosara.info/2010/03/කැමරාව-හා-බැඳුනු-ප්‍රධාන/)Depth of Field , ‍නැත්නම් ක්ෂේත්‍ර ගැඹුර ගැන හඳුන්වා දුන්නා. ඒත් ඒ ගැන වැඩි විස්තර සඳහන් උනේ නෑ. දැන් කියන්න යන්නේ මේ Depth of Field පාලනය කරන හැටි හා පාලනය කරලා නිර්මාණාත්මක ඡායාරූපයක් ගන්න හැටි ගැනයි.
Generic DOF diagram.jpg

Sunday, March 28, 2010

සතියේ ඡායාරූපය

මාර්තු මාසයේ අවසන් සතිය. මේ සතියේ ඡායාරූපයට තෝරා ගත්තේ මෙන්න මේ ඡායාරූපය.
ශිල්පියා : දමිත් විදුරංග (Damith Viduranga)
තේමාව : "බිංදු ඔහුගේ අඩවිය පිරික්සයි"
කැමරාවේ වර්ගය: Samsung ES17
අනෙකුත් තොරතුරු: බිංදු යනු හෝටන් තැන්නේ සිටින හීලෑ ගෝනෙකි

Saturday, March 27, 2010

දුර සමඟ ඡායාරූපයක ස්වභාවය වෙනස් කිරීම

වස්තුවට ආසන්න වෙන්න ආසන්න වෙන්න, ඔබේ වස්තුව, ඡායාරූපය පෞද්ගලික තත්වයට හරවනව. උණුසුම්, මනෝහර හැඟීමක් ඇති කරනව.


මෙහෙම ඡායාරූප ගන්නකොට මතක් කරල අනවශ්‍ය පසුබිමක් හා අනවශ්‍ය වස්තූන් පසුබිමෙහි නොලැබෙන විදිහට ඡායාරූපය ගන්න උත්සාහ කරන්න.


ඔබේ රාමුව සම්පූර්ණයෙන්ම අදාල වස්තුවෙන් පුරවන්න.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>

Saturday, March 20, 2010

මෙම සතියේ ඡායාරූපය

“සතියේ ඡායාරූපය” කියන එක අදනෙ පටන් ගත්තෙ. ඉතින් ඒකට ඡායාරූප කලාවේ විශේෂ පුද්ගලයෙක් එවපු ඡායාරූපයක් යොදා ගන්න හිතුව.
ශිල්පියා : ඉන්ද්‍රනාථ තේනුවර
තේමාව : මොණර තරඟය
ඔහු තව විස්තර ටිකකුත් එකතු කරනව.
“මේ ඡායාරූපය ගත්තෙ මඩකලපුව බලා යන අතරතුරදි. මාත් සමග ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පී රන්ජිත් සිල්වා මහතාත්, ප්‍රවීන ඡායාරූප ශිල්පී ඩොමිනික් හින්ඩ්ල් මහතාත් සිටියා. මේ මොණරා හිටියෙ ලොකු පිදුරු මිටියක් උඩ. කාර් එක නවත්තලා ඡායාරූප ගන්න හදද්දි ඩොමිනික් ඈහුවා ඌව එලවන්නද කියල. රන්ජිත් මහතාත් මාත් සූදානම් උනා ඒ ඈක්ෂන් පින්තූරය ගන්න. අපි දෙන්න ම කැමරාවේ කන්ටිනුවස් ෂටර් Continues Shutter (Burst) මෝඩ් එක දා ගත්තා. රන්ජිත් මහතාගේ කැමරාව Canon 5D එකක්. ඒකෙ තත්පරයට රාමු 11ක වේගයකින් ඡායාරූප සටහන් කර ගන්න පුලුවන්. මගේ Canon 40D කැමරාවෙ පුලුවන් තත්පරයට රාමු 9යි. අපි දෙන්නම කැමරා ක්‍රයාත්මක කළා. ඩොමිනික් මොණරාව එලෙව්වා. මෙන්න කොහේදෝ සිට මතුවෙච්ච සෙබඩෙකුත් රාමුව හරහා යනවා.. වාසනාවකට එයා අහු වුනේ මට විතරයි. මොකද දන්නවද රන්ජිත් මහතා භාවිතා කලේ 300 මිමී දුර රූප කාචයක්. මට තිබුනෙ 55-250 මිමී සූම් කාචයක්..!!!”

Friday, March 19, 2010

නොසිතෙන කෝණ භාවිතා කරන්න

ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.


සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.


සම්පූර්න ලිපිය කියවන්න >>>

Sunday, March 14, 2010

රාමු භාවිතා කරන්න

අපි හුඟක් වෙලාවට ෆොටෝ ප්‍රින්ට් කරල ඒකට රාමුවක් දාල ලස්සනට තියල තියනව. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? එම ඡායාරූපයට අවධානය ලබා ගැනීම. මීට අමතරව තවත් රාමු භාවිතා වෙන අවස්ථාවක් තියෙනව, ඒ තමා ඡායාරූපය ගන්නා අවස්ථාවේදී, ඡායාරූපය තුළ රාමු ගත කිරීම.



ඉතිරිය කියවන්න http://roosara.info/2010/03/රාමු-භාවිතා-කරන්න/ මෙතනට යන්න.

Saturday, March 13, 2010

ප්‍රමුඛ රේඛා සොයා යන්න. (Leading Lines)

මම මේක ගැනත් මීට ඉස්සර, පොඩ්ඩක් කියල තියෙනව.
ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව.
ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවික දේවල් නිසා හැදුනු) ඡායාරූපය තුළ පහළ සිට ඉහළට හෝ කෙළවරක සිට ඊට සම්මුඛ කෙළවරට මෙම රේඛා ගමන් කරන්න පුළුවන්. (ඇත්තෙන්ම කිව්වොත් ඒව ඡායාරූපයේ ප්‍රධාන වස්තුව අසලින් අවසන් වෙනව.)


ඡායාරූපයක් ගන්න රාමුවක් තෝර ගන්නකොට මුලින්ම බලන්න, වටපිටාව දිහා, ප්‍රමුඛ රේඛා විදිහට යොදාගන්න පුළුවන් දේවල් තියෙනවද කියල. මාර්ගයක්, වැටක්, දිගු සෙවණැල්ලක්, වගේ දෙයක්. මෙම රේඛාව පටන් ගන්න ඕනෙ රාමුවේ පහළින් (කෙළවරක හෝ මැදක සිට), ඒක ඊට පස්සෙ ඉහළටම ගිහින් තමා නතර වෙන්න ඕනෙ. (ප්‍රධාව වස්තුව අසලින් වගේ)
සරළ හා ඇල රේඛා තියුණු හා වේගවත්. වක්‍ර රේඛා සුමට හා එකමුතුයි. තිරස් රේඛා සාමකාමියි. සිරස් රේඛා ක්‍රියාකාරියි.
මේක බලන්නකෝ.

මෙහි පහළ තිබෙන අයිස් අතරින් ජලය මතුවෙලා තියෙන කොටස එක පාරටම ඇස ඇදල ගන්නව, ඊට පස්සෙ ඇස යනව ඒක දිගේ ඉහළට, ජලාශය තුළට, ඊට පස්සෙ කැඳු වැටියට.

හොඳම ප්‍රමුඛ රේඛා, පහළ වම්පස කෙළවරින් ඇරඹිලා අවසන් වන්නේ ඡායාරූපයේ ප්‍රධානම ලක්ෂයෙන්.

Blog අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.

මෙම බ්ලොග් අඩවිය එහි අළුත් නවාතැන වන www.roosara.info වෙත ගෙන යන ලදී. මෙම අඩවිය ඉවත් කිරීමක් සිදු නොවන අතර යාවත්කාලීන වීමද සිදුවනු ඇත.


මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.


ස්තුතියි.

Wednesday, March 10, 2010

ෆෝන් එකකින්, point and shoot එකකින් හොඳ ඡායාරූප ගන්න බැරිද ?

මගෙ රූසර අඩවියේ තවම පොඩි පොඩිඅවුල් ටිකක් තියෙනව, සහ ඒමට මම කට්ටියගෙ උදව්ත් ඉල්ලල තියෙනව. ඒව විසඳගන්න අතරෙ මේකෙ තව ලිපි ටිකක් ලියන්න හිතුව.
මේකෙ මාතෘකාවෙ තියෙන ප්‍රශ්නෙ මගෙනුත් කිහිපදෙනෙක් අහල තියෙනව හා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
මේකට උත්තරේ මම දෙන්න යනවට වඩා මට ලැබුන මේකට උත්තර ලියපු ඡායාරූපකරණය ගැන දැනුමත්තෙක්ගෙ ලිපියක්. මෙන්න මෙතනට ගිහිල්ල ඒක කියවල බලන්න, ඔයාලට උත්හරයක් ලැබෙයි.

http://aravindablog.wordpress.com/2009/08/09/ෆෝන්-එකකින්-හොඳ-ඡායාරූප-ග/

"ජංගම දුරකතන කැමරාවලින් ෆොටෝ ගැනිල්ල ගැන පහුගිය දිනවල කීපදෙනෙක් බ්ලොග්වල කියලා තිබුණා. ඉතිං ඒ ගැන ලියන්න හිතුණා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොඳ කලාත්මක ඡායාරූපයක් ගන්න නම් දාස් ගාණක් වියදම් කරලා අඩු ම ගාණේ 10 MP වත් වෙන DSLR එකක් ගන්නම ඕනේ කියලා. මතක තියා ගන්න කැමරාව කියන්නේ උපකරණයක් විතරයි.(Camera is only a TOOL)."

Saturday, March 6, 2010

Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි

මෙම බ්ලොග් අඩවිය, www.roosara.info වෙත ගෙනයාමට දැන් කටයුතු සූදානම් කරන ගමන්.
ඊට ඉස්සෙල්ල, මෙම අඩවිය කියවන්නන්ට වඩාත්ම හොඳ තැනක් කරන්න මට ඔයාලගෙන් අදහස් ටිකක් අවශ්‍යයි.


පරණ බ්ලොග් එකේ තියෙන ලිපි import කරන්නද මේකට?
මම ඇරුනම තවත් කිහිපදෙනෙක් මේකට සම්බන්ධ කරගන්න අදහසක් තිබෙනව, එතකොට අඩවියේ අන්තර්ගතයත් ඉක්මනින් ඉහළ යනව වගේම කියවන්නත් ගොඩක් දේවල් තියේවි. (එහෙම මගෙත් එක්ක එකතු වෙලා ලියන්න කැමති අය ඉන්නව නම් මට ලියන්න. madhawa(at)roosara(dot)info )
කොයි වගේ දේවල්ද ඔයාල මේ අඩවියෙන් බලාපොරොත්තු වෙන්නෙ? ඡායාරූපකරණය තූළ මොන වගේ පරාසයන්ද?

මේ ඇරුනම ඔයාලගෙ තව අදහස් තියෙනව නම් කරුණාකරල කියන්න. මට ඕනෙ ඔයාලට හොඳම අඩවියක් දෙන්න. 


Sunday, February 28, 2010

අතිපිහිත වීම් වළක්වන්න

මොකද්ද මේ අන්ඩර දෙමළෙ කියල බලනවද? තේරෙන බාසාවෙන් කියන්නම්කො. සරළව කිව්වොත් Avoid mergers.
ටිකක් අසීලාචාර, හාස්‍යජනක ඡායාරූපයක් නෙමෙයි නම් ගන්නෙ, පොඩ්ඩක් වටපිටාවෙ තියෙන කණු, ගස්, අතු, හෝ වෙනත් වස්තූන් ගැන සැළකිලිමත් වෙන්න. ඒවායින් ඡායාරූපයට ලක් වෙන පුද්ගලයා, සත්වයා හෝ වස්තුව යන්තම්වත් වැහෙන්න දෙන්න එපා. අන්න ඒවට තමා ඡායාරූපශිල්පීන් mergers කියල කියන්නෙ.




අනිත් දෙය තමා ඡායාරූපයක් ගන්නා විට කිසිම වෙලාවක ඒකෙ ඉන්න අයගෙ අත පය කැපෙන විදිහට ඡායාරූපයක් ගන්න එපා. ඒකට කියන්නෙ border mergers කියල. මේ ඉහළ ඡායාරූපය බලන්නකො, ඒකෙ කොටියාගෙ කකුල් කැපිල ගිහිල්ල. ඒකෙන් මේ ඡායාරූපයේ වටිනාකම ගොඩාක් අඩු වෙලා.
ඔය අපේ සමහරුත් ෆොටෝ ගන්නකොට කෑලි නැතුව ගන්නෙ, මීට පස්සෙ එහෙම ගන්නෙපා.
(Portrait mode එකට මේ කතා වලංගු නෑ.) 

Friday, February 26, 2010

Rule of Third පාවිච්චි කරල ඡායාරූප ගන්න

මම මේක ගැනත් මීට ඉස්සෙල්ල ටිකක් කියල තියෙනව. Rule of Third කියන්නෙ ඡායාරූපයේ රාමුව කොටස් වලට වෙන් කරගන්නා ආකාරයක්. මෙහිදී රාමුව සමාන කොටස් 9කට වෙන් කරනව, පහත ඡායාරූපය වෙන් කරල තියෙනව වගේ. 
ඔබ ඡායාරූපය ගන්නකොට ඔබට විශේෂයෙන්ම පෙන්නන්න ඕනෙ දේවල්, නාභිගත කරන වස්තු, මෙම රේඛා වල ඡේදන ලක්ෂ වල ස්ථානගත කරන්න. මොකද කිව්වොත්, එම ලක්ෂ තමයි බලන්නාගේ ඇස මුලින්ම යන ලක්ෂ. 




පහත උදාහරණ සළකල බලන්නකෝ. 
  • පසුබිම් දර්ශනයක් ඡායාරූප ගත කරනවනම්, ක්ෂිතිජය පහළ රේඛවට ගත්තොත් බලන්නාට, විශාල, ඉඩ කඩ ඇති හැඟීමක් දෙනව. ක්ෂිතිජය ඉහළ රේඛාවට ගත්තොත්, දැනෙන්නෙ සමීප කුළුපග, ආත්මීය හැඟීමක්.
  • පුද්ගල ඡායාරූපයක්ගන්නකොට පුද්ගලයාගේ ඇස් අර කිව්ව රේඛා ඡේදන ලක්ෂයකට එන විදිහට ඡායාරූපය ගන්න.
ඔබ පාවිච්චි කරන්නෙ Auto Focus කැමරාවක් නම් Focus Locking කියන එක දන්නවනෙ? එහිදී වෙන්නෙ ඔබ කැමරාවේ shoot බොත්තම් භාගයක් ඔබල තියාගෙන ඉන්නකොට focal point එකේ තියෙන වස්තුවට අදාළ දුරට කැමරාව නාභිගත වෙනව, ඔබ කැමරාව වෙනස් කළත් focal length එක වෙනස් වෙන්නෙ නෑ. 
ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ, වස්තුව viewfinder එකේ මැදට අරගෙන ඒකට නාභිගත කරගෙන focus lock කරගෙන වස්තුව rule of third එකට අනුව, අර රේඛා වල ඡේදන ලක්ෂයකට එන විදිහට කැමරාව චලනය කරන එක. ඊට පස්සෙ එහෙම තියල ඡායාරූපය ගන්න.


Tuesday, February 23, 2010

ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි - 1 - නාභිය ලක්ෂය සොයාගන්න

ඡායාරූපය තුළ ගොඩාක් වස්තූන් තියෙනව නම් අපේ ඇහැට හිතාගන්න අමාරුයි කොහෙට නාභිගත කළ යුතුද, මොකක් බැලිය යුතුද කියල. ඡායාරූපයක් තුළ කොතන බැලිය යුතුද කියන එක පෙන්නන එක තමයි ප්‍රධාන වශයෙන් නාභිය ලක්ෂයෙන් කරන්නෙ. ඡායාරූපයක් ගන්නකොට (compose කරනකොට) කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි ඡායාරූපයක් තුළ නාභිය ලක්ෂයක් තෝරා ලබා දෙන එක.

ඡායාරූපය තුළ නාභිය ලක්ෂය තෝරා ගැනීමේදී අත්‍යවශ්‍ය වස්තූන් පමණක් නාභිගත කරන්න යොදාගන්න. ඒ වස්තූන් තෝරා ගත යුත්තේ ඡායාරූපයේ සංයුතියේ ශක්තිය හා භාවප්‍රකාශනය ඉස්මතු වෙන විදිහටයි.
  • ඡායාරූපයට නගන්නෙ මිනිසුන් හෝ සතුන් නම් පුළුවන් තරම් එයාලට ලං වෙන්න.
  • දර්ශනයක් නම් ඡායාරූපයට ගන්නට බලාපොරොත්තු වෙන්නෙ ‍ඡායාරූපයේ රාමුව තුළට ඇතුළු කරගන්න සිත්ගන්නා දෙයක් හොයාගන්න. බලන්න පහළ ඡායාරූපය. කඳු, මුහුදු වෙරළ ඡායාරූපයට ගැනීම ඉතාම හොඳයි, නමුත් ඒවායින් කීයෙන් කීයද මතක සටහන් ඉතිරි කරන්නෙ? ඒ උනාට කඳු ගැටයක් නගින කඳු නගින්නෙකුගේ ඡායාරූපයක්, මුහුදු රළක් උඩ නැග එන රළ පදින්නෙකුගේ ඡායාරූපයක් කොතරම් තාත්විකද? එය ඔබගේ දෘශ්ටිමානය කෙතරම් ඉහළ මට්ටමකට ගෙන යනවාද?

ඉවත් කළයුතු ප්‍රශ්න: විශාල පසුබිම් (ඡායාරූපයේ ගත යුතු දෙයක් නැති වෙනව), අපිළිවෙල (අවුල් වියවුල් සහිත රාමුවක්, ඡයාරූපය කැත කරනව), ලඟ බලා සිටින්නෝ (ඡායාරූපයේ ඉඩ අහක යනව.)

Friday, February 12, 2010

ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි

මම මීට පෙර ලිපි කිහිපයකදී ඔයාලට කියල දුන්න කලාත්මක, ඉස්තරම් ඡායාරූපයක් ගන්න හැටි, හැබැයි බොහොම කෙටියෙන්. මෙතන ඉදල ටිකක් විස්තරාත්මකව ඒ ගැන කියන්න හිතුව. 
කලාත්මක ඡායාරූපයක් ගන්න, හොඳ කැමරාවක්, හොඳ පරිසරයක්, ඒ සම්බන්ධව පොඩි තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යයි.  ඊට අමතරව තව දේවල් තිබෙනව. 
  • වස්තූන් අවශ්‍ය පරිදි සංකලනය කරගැනීමට ඇති හැකියාව හොඳ ඡායාරූපයකට අත්‍යවශ්‍ය සාධකයක්. මේකෙ මතක තියාගන්න මහ ලොකු දේවල් නෑ, ටික ටික පුරුදු වෙන්න, කාලයක් යනකොට, ඡායාරූප ගොඩක් ගන්නකොට ඔයාටම තේරෙයි, ඔයාගෙ හැකියාව වර්ධනය වෙනව කියල.
  • දෙවැන්න, "වාසනාව". හරි තැන හරි වෙලවට හිටියොත් ඔයාට මේ ලෝකෙ තියෙන හොඳම ඡායාරූප ගන්න පුළුවන්.  :)
අපි ඊලඟ ලිපි වලින් මෙන්න මේව ගැන බලමු. සමහර ඒව නම් මම මීට ඉස්සෙල්ලත් කියල තියෙනව.
  • නාභි ගත කළ යුත්තේ කොහෙටද
  • Rule of Third
  • Leading Lines
  • සංයුක්තයන් වළකන හැටි
  • රාමුගත කිරීම
  • නොසිතන කෝණ වලින් ඡායාරූප ගැනීම
  • දුර පිළිබඳ අවබෝධය
  • පසුබිම පිරිසිදු කිරීම
  • සමබරත්වය
  • අසමානතාවය භාවිතය
  • ආලෝකය සොයා ගැනීම
  • ගැඹුර
  • වර්ණ හා හැඩතල
මේ දේවල් ගැන අඩු වැඩිව ඉදිරි ලිපි වලින් විස්තර කේරේවි. සමහර දේවල් ඉස්සර කියල තියෙන නිසා, වැඩි විස්තර නොලියන්නත් ඉඩ තිබෙනව. (පරණ ලිපියට සබැඳියක් දාන්නම්කො.)


මේ මට ඊ මේල් එකකින් ආපු ඡායාරූප ටිකක්, ඔයාලටත් මේක ඇවිල්ල ඇති සමහරවිට.






පොඩි ඔවදනක්, 
ඡායාරූපයක කලාත්මක බව තියෙන්නෙ ඒකෙ තියෙන ලස්සන රූපයකින් විතරක් නෙමෙයි, ඒකෙන් කියවෙන කතාවත් ඉතාම වැදගත්.

Sunday, January 24, 2010

RAW images සමඟ වැඩ කිරීම

ඔයාගෙ කැමරාව RAW mode එකට සහය දක්වනවනම් ඒක පාවිච්චි කරන්න පසුබාන්න එපා. හැබැයි RAW images ගන්න පුළුවන් manual mode එකේදි විතරයි. 


ඡායාරූප අරගෙන එම ෆයිල් ටික පරිගණකයට දාගන්න.
ඒව, ඔයා පාවිච්චි කරන Photo Editing Software එක හරහා ඕපන් කරගන්න.
අවශ්‍ය පරිදි කපල කොටල, පාට හදල, කරන්න ඕනෙ දේවල් කරල (White Balance, Temperature,
Exposure, Contrast, Clarity, හා වෙනත් දේවල්) සේව් කරගන්න. (මතක ඇතුව වෙනස්කම් කරන කොට, preview එක බලන්න අමතක කරන්න එපා. Zoom කරල එහෙම හොඳට පරික්ෂාවෙන් හදන්න)





ඒ විස්තර කිව්වට මොනවද මේ RAW කියන්නෙ කියල කිව්වෙ නෑ නෙ. 
RAW කියන්නෙ ඇත්තම රූපයම වගේ තියෙන ෆයිල් ටයිප් එකක් (closest thing to pure “digital negatives”).
කැමරාව විසින් ඡායාරූපයට කිසිම දෙයක් කරන්නෙ නෑ, Adobe Photoshop, Photoshop Elements, හෝ කැමරාවෙ proprietary software වගේ Photo Editing Software එකක් නැතුව මේව බලන්න බෑ. 
හැබැයි, මේව එක්ක වැඩ කරන්න එම මෘදුකාංග පිළිබඳ යම් දැනුමක් තිබිය යුතුයි. මෙහිදී ඔබට එම රූපයේ වෙනස්කම් කිරීමට උපරිමම සුනම්‍යතාවයක් වගේම ඉහළම තත්වයෙන් යුක්ත ඡායාරූපයක් ලබා ගත හැකියි. 


වැදගත්:
RAW විදිහට ගන්න ඡායාරූප වල file size එක ඉතාම විශාලයි.කැම නිසා ඔබගේ මතක චිපයේ ඉඩ ප්‍රමාණය ගැනත් ටිකක් හිතේ තියාගන්න.


මේ ලිපියත් සමඟ කැමරාව පිළිබඳ හා එහි ඇති උපක්‍රම පිළිබඳව ලියැවුනු ලිපි අවසන් වෙනව. ඊළඟට අපි බලමු ගන්නා ඡායාරූපය ලස්සනට ගන්නෙ කොහොමද කියල. මේ ගැන ලියපු කෙටි ලිපි කියවල පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්නකො. ඒව මෙතනින් කියවන්න. (කලාත්මක ඡායාරූපයක් ලබා ගැනීමට ඔවදනක්)