Sunday, February 28, 2010

අතිපිහිත වීම් වළක්වන්න

මොකද්ද මේ අන්ඩර දෙමළෙ කියල බලනවද? තේරෙන බාසාවෙන් කියන්නම්කො. සරළව කිව්වොත් Avoid mergers.
ටිකක් අසීලාචාර, හාස්‍යජනක ඡායාරූපයක් නෙමෙයි නම් ගන්නෙ, පොඩ්ඩක් වටපිටාවෙ තියෙන කණු, ගස්, අතු, හෝ වෙනත් වස්තූන් ගැන සැළකිලිමත් වෙන්න. ඒවායින් ඡායාරූපයට ලක් වෙන පුද්ගලයා, සත්වයා හෝ වස්තුව යන්තම්වත් වැහෙන්න දෙන්න එපා. අන්න ඒවට තමා ඡායාරූපශිල්පීන් mergers කියල කියන්නෙ.




අනිත් දෙය තමා ඡායාරූපයක් ගන්නා විට කිසිම වෙලාවක ඒකෙ ඉන්න අයගෙ අත පය කැපෙන විදිහට ඡායාරූපයක් ගන්න එපා. ඒකට කියන්නෙ border mergers කියල. මේ ඉහළ ඡායාරූපය බලන්නකො, ඒකෙ කොටියාගෙ කකුල් කැපිල ගිහිල්ල. ඒකෙන් මේ ඡායාරූපයේ වටිනාකම ගොඩාක් අඩු වෙලා.
ඔය අපේ සමහරුත් ෆොටෝ ගන්නකොට කෑලි නැතුව ගන්නෙ, මීට පස්සෙ එහෙම ගන්නෙපා.
(Portrait mode එකට මේ කතා වලංගු නෑ.) 

Friday, February 26, 2010

Rule of Third පාවිච්චි කරල ඡායාරූප ගන්න

මම මේක ගැනත් මීට ඉස්සෙල්ල ටිකක් කියල තියෙනව. Rule of Third කියන්නෙ ඡායාරූපයේ රාමුව කොටස් වලට වෙන් කරගන්නා ආකාරයක්. මෙහිදී රාමුව සමාන කොටස් 9කට වෙන් කරනව, පහත ඡායාරූපය වෙන් කරල තියෙනව වගේ. 
ඔබ ඡායාරූපය ගන්නකොට ඔබට විශේෂයෙන්ම පෙන්නන්න ඕනෙ දේවල්, නාභිගත කරන වස්තු, මෙම රේඛා වල ඡේදන ලක්ෂ වල ස්ථානගත කරන්න. මොකද කිව්වොත්, එම ලක්ෂ තමයි බලන්නාගේ ඇස මුලින්ම යන ලක්ෂ. 




පහත උදාහරණ සළකල බලන්නකෝ. 
  • පසුබිම් දර්ශනයක් ඡායාරූප ගත කරනවනම්, ක්ෂිතිජය පහළ රේඛවට ගත්තොත් බලන්නාට, විශාල, ඉඩ කඩ ඇති හැඟීමක් දෙනව. ක්ෂිතිජය ඉහළ රේඛාවට ගත්තොත්, දැනෙන්නෙ සමීප කුළුපග, ආත්මීය හැඟීමක්.
  • පුද්ගල ඡායාරූපයක්ගන්නකොට පුද්ගලයාගේ ඇස් අර කිව්ව රේඛා ඡේදන ලක්ෂයකට එන විදිහට ඡායාරූපය ගන්න.
ඔබ පාවිච්චි කරන්නෙ Auto Focus කැමරාවක් නම් Focus Locking කියන එක දන්නවනෙ? එහිදී වෙන්නෙ ඔබ කැමරාවේ shoot බොත්තම් භාගයක් ඔබල තියාගෙන ඉන්නකොට focal point එකේ තියෙන වස්තුවට අදාළ දුරට කැමරාව නාභිගත වෙනව, ඔබ කැමරාව වෙනස් කළත් focal length එක වෙනස් වෙන්නෙ නෑ. 
ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ, වස්තුව viewfinder එකේ මැදට අරගෙන ඒකට නාභිගත කරගෙන focus lock කරගෙන වස්තුව rule of third එකට අනුව, අර රේඛා වල ඡේදන ලක්ෂයකට එන විදිහට කැමරාව චලනය කරන එක. ඊට පස්සෙ එහෙම තියල ඡායාරූපය ගන්න.


Tuesday, February 23, 2010

ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි - 1 - නාභිය ලක්ෂය සොයාගන්න

ඡායාරූපය තුළ ගොඩාක් වස්තූන් තියෙනව නම් අපේ ඇහැට හිතාගන්න අමාරුයි කොහෙට නාභිගත කළ යුතුද, මොකක් බැලිය යුතුද කියල. ඡායාරූපයක් තුළ කොතන බැලිය යුතුද කියන එක පෙන්නන එක තමයි ප්‍රධාන වශයෙන් නාභිය ලක්ෂයෙන් කරන්නෙ. ඡායාරූපයක් ගන්නකොට (compose කරනකොට) කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි ඡායාරූපයක් තුළ නාභිය ලක්ෂයක් තෝරා ලබා දෙන එක.

ඡායාරූපය තුළ නාභිය ලක්ෂය තෝරා ගැනීමේදී අත්‍යවශ්‍ය වස්තූන් පමණක් නාභිගත කරන්න යොදාගන්න. ඒ වස්තූන් තෝරා ගත යුත්තේ ඡායාරූපයේ සංයුතියේ ශක්තිය හා භාවප්‍රකාශනය ඉස්මතු වෙන විදිහටයි.
  • ඡායාරූපයට නගන්නෙ මිනිසුන් හෝ සතුන් නම් පුළුවන් තරම් එයාලට ලං වෙන්න.
  • දර්ශනයක් නම් ඡායාරූපයට ගන්නට බලාපොරොත්තු වෙන්නෙ ‍ඡායාරූපයේ රාමුව තුළට ඇතුළු කරගන්න සිත්ගන්නා දෙයක් හොයාගන්න. බලන්න පහළ ඡායාරූපය. කඳු, මුහුදු වෙරළ ඡායාරූපයට ගැනීම ඉතාම හොඳයි, නමුත් ඒවායින් කීයෙන් කීයද මතක සටහන් ඉතිරි කරන්නෙ? ඒ උනාට කඳු ගැටයක් නගින කඳු නගින්නෙකුගේ ඡායාරූපයක්, මුහුදු රළක් උඩ නැග එන රළ පදින්නෙකුගේ ඡායාරූපයක් කොතරම් තාත්විකද? එය ඔබගේ දෘශ්ටිමානය කෙතරම් ඉහළ මට්ටමකට ගෙන යනවාද?

ඉවත් කළයුතු ප්‍රශ්න: විශාල පසුබිම් (ඡායාරූපයේ ගත යුතු දෙයක් නැති වෙනව), අපිළිවෙල (අවුල් වියවුල් සහිත රාමුවක්, ඡයාරූපය කැත කරනව), ලඟ බලා සිටින්නෝ (ඡායාරූපයේ ඉඩ අහක යනව.)

Friday, February 12, 2010

ඉස්තරම්ම ඡායාරූපයක් ගන්නා හැටි

මම මීට පෙර ලිපි කිහිපයකදී ඔයාලට කියල දුන්න කලාත්මක, ඉස්තරම් ඡායාරූපයක් ගන්න හැටි, හැබැයි බොහොම කෙටියෙන්. මෙතන ඉදල ටිකක් විස්තරාත්මකව ඒ ගැන කියන්න හිතුව. 
කලාත්මක ඡායාරූපයක් ගන්න, හොඳ කැමරාවක්, හොඳ පරිසරයක්, ඒ සම්බන්ධව පොඩි තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යයි.  ඊට අමතරව තව දේවල් තිබෙනව. 
  • වස්තූන් අවශ්‍ය පරිදි සංකලනය කරගැනීමට ඇති හැකියාව හොඳ ඡායාරූපයකට අත්‍යවශ්‍ය සාධකයක්. මේකෙ මතක තියාගන්න මහ ලොකු දේවල් නෑ, ටික ටික පුරුදු වෙන්න, කාලයක් යනකොට, ඡායාරූප ගොඩක් ගන්නකොට ඔයාටම තේරෙයි, ඔයාගෙ හැකියාව වර්ධනය වෙනව කියල.
  • දෙවැන්න, "වාසනාව". හරි තැන හරි වෙලවට හිටියොත් ඔයාට මේ ලෝකෙ තියෙන හොඳම ඡායාරූප ගන්න පුළුවන්.  :)
අපි ඊලඟ ලිපි වලින් මෙන්න මේව ගැන බලමු. සමහර ඒව නම් මම මීට ඉස්සෙල්ලත් කියල තියෙනව.
  • නාභි ගත කළ යුත්තේ කොහෙටද
  • Rule of Third
  • Leading Lines
  • සංයුක්තයන් වළකන හැටි
  • රාමුගත කිරීම
  • නොසිතන කෝණ වලින් ඡායාරූප ගැනීම
  • දුර පිළිබඳ අවබෝධය
  • පසුබිම පිරිසිදු කිරීම
  • සමබරත්වය
  • අසමානතාවය භාවිතය
  • ආලෝකය සොයා ගැනීම
  • ගැඹුර
  • වර්ණ හා හැඩතල
මේ දේවල් ගැන අඩු වැඩිව ඉදිරි ලිපි වලින් විස්තර කේරේවි. සමහර දේවල් ඉස්සර කියල තියෙන නිසා, වැඩි විස්තර නොලියන්නත් ඉඩ තිබෙනව. (පරණ ලිපියට සබැඳියක් දාන්නම්කො.)


මේ මට ඊ මේල් එකකින් ආපු ඡායාරූප ටිකක්, ඔයාලටත් මේක ඇවිල්ල ඇති සමහරවිට.






පොඩි ඔවදනක්, 
ඡායාරූපයක කලාත්මක බව තියෙන්නෙ ඒකෙ තියෙන ලස්සන රූපයකින් විතරක් නෙමෙයි, ඒකෙන් කියවෙන කතාවත් ඉතාම වැදගත්.