Saturday, October 31, 2009

වස්තුව ආලෝකමත් කරන්න

එළිමහනේ ඡායාරූප ගැනීමේදී හොඳම වෙලාව තමයි උදේ වරුව සහ හවස් වරුව. මොකද කිව්වොත් ඒ වෙලාවට ආලෝකයයත් සෞම්‍යයි, සෙවණැලි දිගයි. පුද්ගල ඡායාරූප වලට නම් දවල් කාලය හරිම නරකයි, තද සෙවණැලි, පුන්චි කරගත්තු ඈස්, කැතයිනෙ නේද? එහෙම වෙලාවට ඡායාරූප ගන්නම ඕනෙ නම් එම පුද්ගලයාව සෙවණකට එක්කගෙන ගිහිල්ල ඡායාරූපය ගන්න. Fill flash එකක් ගහල අඳුරු තැන් ආලෝකමත් කරගන්න.





මතකයේ තබාගන්න, වළාකුළු සහිත දවස්, පුද්ගල ඡායාරූපයන් ගැනීමට ඉතාම හොඳයි.
  • පසුබිම ආලෝකමත් අවස්ථා (back lighting) වලදි ඡායාරූප ගැනීමේදී හුඟක් සැළකිලිමත් වෙන්න ඕනෙ. නිර්මාණාත්මක ඡායාදර්ශනයක් ගන්න ඕනෙ නැත්තම් මේ ගැන සැළකිලිමත් වෙන්න වෙනවා. කෑමරාව ස්වයංක්‍රීයව එම ආලෝකයට ගැළපෙන විදිහට සැකසුම් කරගත්තොත් පෙරබිමේ තිබෙන සියළුම දේවල් අඳුරු වෙයි. එම නිසා Fill flash එකක් භාවිතා කරන්න. සමහරවිට සැණෙලිය ඔබට manually on කරන්න වෙයි.
  • නිවෙසක් තුළ නම් ඡායාරූපය ගන්නෙ, එම වස්තුව හෝ පුද්ගලයාව, සෘජුව ආලෝකය නොවැටෙන ජනේලයක් අසළ රඳවා ඡායාරූපය ගන්න. 
  • නිවෙසක් තුළ අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූපයක් ගන්නා විට කෑමරාවෙ ඈති සැණෙලිය භාවිතා කරන්න, තවත් ආලෝකය අවශ්‍ය නම් මේස ලාම්පු වගේ දේවල් භාවිතා කරන්න. මතක තබා ගන්න, ආලෝක ප්‍රභවයන් වස්තුවට අංශක 45ක ඇලයකින් තබන්න. 
  • ආලෝක ප්‍රභවයන් කෑමරාව ඉදිරියෙන් නොතිබෙන්නට වග බලාගන්න, නැත්තම් කාචය දිලිසීම්, වෘත්තාකාර ආලෝක වළලු, දේදුනු එහෙම පේන්න ගනී.
  • අවශ්‍ය පරිදි පරාවර්තක, විසරක භාවිතා කරන්න. 
ආලෝකය ගැන සැළකීමෙදී, ආලෝකයේ දිශාව, වර්ණය, තීව්‍රතාවය, වැනි දේවල් ගැන සිතිය යුතුයි. ස්වභාවික ආලෝකය හා කෘතිම ආලෝකය එකිනෙකට වෙනස්.
භූමි දර්ශන ඡායාරූපයට ගැනිමේදී සැනෙළියෙන් ප්‍රයෝජනයක් නෑ. එය ගැලපෙන්නෙ, ආසන්න වස්තූන් ඡායාරූපයට නඟන විට පමණයි, නමුත් මතක තබාගන්න, සැණෙලිය මගින් ඡායාරූපයේ ගැඹුර වැඩි කරනව.

Sunday, October 25, 2009

විසරක (Diffusers) භාවිතය

මොනවද මේ විසරක (diffusers)? 
විසරකයකින් කරන්නෙ, සැණෙළියෙන් හෝ වෙනත් ආලෝක ප්‍රභවයකින් පැමිණෙන ආලෝකය විසුරුවා හැර, තද සෙවණැලි, තියුණු ලෙස ආලෝකවත් වූ ප්‍රදේශ, දිලිසුම් ඇතිවන ප්‍රදේශ, නැති කර ආලෝකය හරි හැටි පාලනය කිරීමයි. වෙනත් වචන වලින් කිව්වොත් ආලෝකය මෘදු කිරීම තමයි විසරකයකින් වෙන්නෙ. 
ඔබේ කැමරාවේ සැණෙළිය සමඟ පහත රූපයේ වැනි විසරකයක් ලැබුනා නම් එය අනිවාර්යයෙන් සැණෙළියට සවි කරගත යුතුයි.

බලන්න මේ ඡායාරූප දිහා, මේවා අරන් තියෙන්නෙ හිරු එළිය යටතේ. ඉහළ ඡායාරූපය අරන් තියෙන්නෙ විසරකයක් භාවිතා කරල සූර්යයාලෝකය විසුරුවා හැරල. පහළ ඡායාරූපය අරන් තියෙන්නෙ ඍජුව වැටෙන සූර්යාලෝකය යටතේමයි. 


බලන්න වෙනස. විසරකයක් භාවිතා කළාම තියුණු දිලිසීම්, වස්තුව අපැහදිලිවීම් නැතිවී තිබෙනව.

විසරක මිලදී ගැනීමට එතරම් මහන්සි වෙන්න, මුදල් වියදම් කරන්න අවශ්‍ය නෑ, ඔබටම පුළුවන් ඔබේම විසරක සාදා ගැනීමට. හරිම සරළයි. 
කුමක් හෝ පාරභාෂක (Semi transparent) දෙයක් භාවිතා කිරීම තමා කළ යුත්තේ. තෙල් කඩදාසියක්, පාරභාෂක ප්ලාස්ටික් ටින් පියනක් වැනි දෙයක් පහසුවෙන්ම විසරකයක් ලෙස භාවිතා කළ හැකියි. 
මම පරාවර්තක ගැන කියද්දි අර ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ ගැන කිව්ව මතකද? ඒවා මොකටද භාවිතා වෙන්නෙ කියල මම ඒ වෙලාවෙ කිව්ව. 
ඒව භාවිතා වෙන්නෙ, පරාවර්තක හා විසරක ලෙස.

Wednesday, October 21, 2009

පරාවර්තක (Reflectors) භාවිතය

පරාවර්තකයක් කියන්නෙ රෙදිවලින් හෝ එවැනි ද්‍රව්‍යයකින් සෑදූ රිදී වැනි දිලිසෙන ද්‍රව්‍යයක් ආලේප කරන ලද තිරයක් වැනි දෙයක්. එමගින් කරන්නෙ තද සූර්යයාලෝකය, සැණෙලියෙන් ලැබෙන තද ආලෝකය, පරාවර්තනය කර එම ආලෝකය නොලැබෙන ස්ථාන ආලෝකමත් කිරීම. ඔබ දැකල ඇතිනෙ ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ, ඒවා භාවිතා වෙන්නෙ පරාවර්තක ලෙස. (විසරක (Diffusers) ලෙසත් ඒවම භාවිතා වෙනවා.)



තද ආලෝක තත්ව යටතේ පුද්ගල ඡායාරූප ගන්නකොට ඒ පුද්ගලයාගේ මුහුණට ආලෝකය කෙලින්ම නොවැටෙන්න වග බලාගන්න. ඇස් පුංචි කරගෙන වපර කරගෙන ඡායාරූපයකට ඉන්න බෑනෙ.
ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයාගේ මුහුණට පහළින් පරාවර්තකයක් තබන්න. (හැබැයි ඡායාරූපයට අහුවෙන්න නෙමෙයි.) එමගින්, අස් අවට, නාසය පහළ, නිකට, බෙල්ලේ ඉහළ කොටස වගේ හරියට ආලෝකමත් නොවූ ස්ථාන ආලෝකමත් කරගන්න.
ඇතුළත ස්ථානයකදී ජනේලයක් අසලදී, පුද්ගලයෙකුගේ, වස්තුවක, සුරතලෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී ජනේලයට අනෙක් පසින් පරාවර්තකයක් අටවා, ඇතිවන සෙවණැලි වළක්වා ගන්න පුළුවන්.

Saturday, October 17, 2009

ත්‍රිපාදයක් (Tripod) භාවිතය


අඩු ශටර වේගයක් යොදාගෙන ඡායාරූප ගැනීමේදී ත්‍රිපාදයක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද කිව්වොත් කැමරාවේ ශටරය දිගු වේලාවක් විවෘතව තිබෙන නිසා කැමරාව නිශ්චලව පැවතීම අනිවාර්යයි. නැතිනම් ඡායාරූපය සෙලවී බොඳවී යනව. මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව wider aperture එකක් පාවිච්චි කරල ඡායාරූප ගන්න. අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමේදී මෙය අත්‍යවශ්‍යයි. Telephoto lens එකක් භාවිතා කරන අවස්ථා වල, macro lens එකක් භාවිතා කරන අවස්ථා වලදිත් ත්‍රිපාදයක් භාවිතා කළ යුතුයි.
ත්‍රිපාදයක් එහෙ මෙහෙ අරන් යන්න අමාරු නම් monopod එකක් අරන් යන්න. ඒකෙ තියෙන්නෙ එක කකුලයි. රැගෙන යාමත් ලේසියි. අඩු ඉඩක් ගන්නෙ, කුඩා ඉඩක උනත් පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්.

දැන් ජංගම දුරකථන වලටත් ත්‍රිපාද තියෙනව, ජංගම දුරකථන කැමරාවකිනුත් ලස්සනට ඡායාරූප ගන්න පුළුවන්, මේව පාවිච්චි කරල.

වැදගත් දෙයක්, ඔබේ කැමරාවෙ/කාච පද්ධතියෙ Image Stabilization හෝ Vibration Reduction පිළිබඳ සැකසුම් තිබෙනව නම් ඒව අක්‍රිය කරන්න. (දෙකෙන්ම කරන්නෙ එකම දේ නෙ, ඉතින් මොකටද එකම වැඩේ කරන්න දෙකක් පාවිච්චි කරන්නෙ.) නැත්තම් සමහර කැමරාවල නම් ත්‍රිපාදයක් සම්බන්ධ කරල කියල හඳුනා ගන්න උපක්‍රමත් තියෙනව.

Friday, October 9, 2009

පෙරහන් (Filters) භාවිතය

මේව ඉතින් ඇනලොග් වගේම ඩිජිටල් ඒවටත් පාවිච්චි කරනව. ඩිජිටල් කැමරා වලට මෙන්න මේ වගේ පෙරහන් වාසිදායක වෙනව.



Polarizing filters
ජලයෙන් හා වීදුරු මගින් සිදු වන අනවශ්‍ය පරාවර්තනයන් වළක්වනවා. contrast සහ color saturation වැඩි කිරීමටත් උපකාරී වෙනවා. මේව වඩාත්ම ගැළපෙන්නෙ භූ දර්ශන ඡායාරූප ගත කරද්දි තමයි. වෘත්තාකාර polarizing filter එකක් භාවිතා කරන්න මතක තියාගන්න.

Ultraviolet (UV) filters
මේක හුඟාක් වෙලාවට භාවිතා කරන්නෙ කැමරාවෙ තියෙන මිල අධික කාචය රැක ගන්න. නමුත් භූ දර්ශන ඡායාරූප ගත කරද්දි අපැහැදිලි රූප මෙමගින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒත් සමහර ඡායාරූප ශිල්පීන් නම් මෙම වර්ගයේ පෙරහන් ඩිජිටල් කැමරා හා භාවිතය අනුමත් කරන්නෙ නෑ.

Neutral density (ND) filters
මෙම්ගින් මුළු රූප රාමුවේම ආලෝක තීව්‍රතාවය අඩු කරනව. ඒ නිසා ඔබට පුළුවන් වෙනව අඩු ෂටර වේගයක් හා විශාල විවරයක් සහිතව ඡායාරූප ගන්න. මේක වඩාත් ප්‍රයෝජනවත්, ඔබට සෙලවෙන දෙයක් (දිය ඇල්ලක්, ගංගාවක් වගේ) බොඳ කරල අන්න ඕනෙ නම් හා හුඟක් ආලෝකමත් වස්තූන් ඡායාරූපයට ගැනීමේදී.

Graduated neutral density (GND) filters
මෙය ඔබට ප්‍රයෝජනවත් වේවි, වඩාත් පුළුල් ගතික ඡායාරූපයක් ගන්න, අඳුරු වගේම ආලෝකමත් ස්ථාන වක තියෙන දේවලුත් හසු කරගෙන. මේක හුඟාක් හොඳ වෙන්නෙ ආලෝකමත් අහසක් හා අඳුරු පොළවක් තිබෙන භූ දර්ශන ඡායාරූපයට ගැනීමේදී.

Infrared (IR) filters
අධෝරක්ත කිරණ පමණක් කැමරාව තුළට පෙරා ලබාදී අලංකාර රැස් විහිදෙන ඡායාරූප ලබා දෙන්නට මෙම පෙරහනට හැකියාව තිබෙනව. අඳුරු අහසක් සමඟින් දීප්තිමත් අතු කොළ ලබාදීම්ට මෙයට හැකියි.

Special effects filters
විවිධ අලංකාර නිර්මාණාත්මක දෙවල් කරන්න පුළුවන් පෙරහන් වර්ගයක්. එක එක පෙරහනට කළ හැකි විවිධ කාර්යයන් තිබෙනව. ඡායාරූපය්ට පරණ පෙනුමක් දෙන්න, පැල්ලම් ඇති කරන්න, තව ගොඩක් දේවල්...
  • තමන් පෙරහන් තෝරා ගන්නා විට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඒව තෝරා ගන්න වග බලාගත යුතුයි. තවත් වැදගත් කරුණක් තමයි, ඒව තමුන්ගෙ කැමරාවට ගැළපෙන, කැමරාවට සවි කළ හැකි ඒවා විය යුතුයි. සමහරවිට ඔබ මිලදී ගත් පෙරහන කැමරාවට සවි කිරීමට ඔබට add-on adapter එකකුත් ගන්න වෙයි.
  • Wide Angle Lense එකක් එක්ක polarizing filter එකක් භාවිතා කරන්න එපා.
  • ඩිජිටල් කැමරා වලට warming, cooling, and fluorescent conversion filters අමතක කරන්න පුළුවන්.

Tuesday, October 6, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .3 - Metering Modes

එක එක කැමරා වල එක එක විදිහෙ Metering Modes තියෙනව.  

මොකද්ද මේ Metering Modes?
මේකෙදි කරන්නෙ, ඡායාරූපයට අසුවන ප්‍රදේශයෙන් කොටසක් තෝරාගෙන එම ප්‍රදේශයේ ආලෝක තත්වයට අනුව අනාවරණ මට්ටම (Exposure Level) තේරීමයි. මේය ප්‍රධාන ආකාර 2කට හෝ 4කට බෙදනු ලබනවා.




Matrix, multi-segment, multi-zone, or evaluative metering



මේකෙදි සම්පූර්ණ ඡායාරූපයම සළකල තමයි කැමරාව, අවශ්‍ය නිරාවරණය තෝරන්නෙ. පසුබිමේ ආලොඅක තත්වය, වස්තූන්ගෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය වගේ සියළු දේවල්ම මෙහිදී කැමරාව සළකනවා.

Spot, or partial, metering



මේකෙදි කැමරාව මුළු ඡායාරූපයේම මැද ප්‍රදේශයේ 9 - 10% වගේ ප්‍රමාණයක් සළකල, එම ස්ථානයේ ඇති ආලෝක තත්වයන්ට අනුව නිරාවරණ මට්ටම තෝරා ගන්නව. මේක, වස්තුවට වඩා පසුබිම ආලෝකමත් අවස්ථා වලට හුඟාක්ම උචිතයි.

Center-weighted metering



රාමුවේ මැද ප්‍රදේශයේ ඇති ආලෝක තත්වය ගැන වඩිපුර හිතල, වටේ ගැනත් ටිකක් හිතන mode එකක් මේක. මැද සිට ඉවතට යන විට රාමුව තුළ ඇති ආලෝක මට්ටම් වල සාමාන්‍යය සළකල සම්පූර්ණ රාමුවට ගැළපෙන විදිහට නිරාවරණ මට්ටම් තෝරනව. 
සංකීර්ණ ආලෝක තත්ව ඇති දසුනකට මේක හොඳින්ම ගැළපෙනව.

Friday, October 2, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .2 - "Focusing"

ඉස්සෙල්ල ලිපියෙන් අපි white balance ගැන කතා කළා, මේකෙදි තව දෙයක් ගැන කතා කරමු. ඒ තමයි "Focusing".
මේක හරිම ලේසි වැඩක්. මේකෙ ප්‍රධාන අවස්ථා 3ක් ගැන කතා කළ යුතුයි.

Auto Focus (AF mode) කැමරාවේ සැකසුම් Auto Focus mode එකට දාන්න (AF). එවිට කැමරාව තීරණය කරාවි, නාභි ගත කළ යුතු ස්ථානය. මෙහිදී කැමරාව, එයට ලබා දී ඇති AF points වල තිබෙන වස්තූන්ට නාභි ගත කරගන්නව. ඔබට තියෙන්නෙ නාභි ගත කළයුතු වස්තුව AF point එකකට ස්ථානගත කරල ඡායාරූපය ගන්න. 
එහිත් විවිධ සැකසුම් තියෙන්න ඉඩ තියෙනව, One Shot, AI Servo or Continuous, AI Focus වගේ.
මේකෙ බලන්න මම අර කිව්ව AF points තියෙන හැටි.


Manual Focus (MF mode)
ඔබට අවශ්‍ය නම් ඔබේ අතින්ම නාභි ගත කිරීම් කරන්න, නැත්තම් නිර්මාණාත්මක ඡායාරූපයක් ගන්න, කැමරාව MF mode එකට දාගන්න. හැබැයි මෙහිදී ඔබට සිදු වෙනව අතින් කැමරාවෙ කාච පද්ධතිය සීරු මාරු කරල වස්තුවට නාභිගත කරගන්න.

Off center shooting
ඔබට ඡායාරූපය ලබා ගත යුත්තේ වස්තුව ඡායාරූපයේ කෙළවරකට වෙන්න තියල නම් ඔබ Focus Locking කියන එක පාවිච්චි කරන්න වෙනව. එහිදී වෙන්නෙ වස්තුවට නාභිගත කරගත් පසු කැමරාව වෙනස් කළත් නාභිය දුර වෙනස් නොවී තිබීම. එතකොට ඔබට පුළුවන් වස්තුව ඡායාරූපයේ පසෙකට වන්නට සකසල ඡායාරූපය ගන්න.
කරන්නෙ මෙහෙමයි, මුලින්ම AF mode එකට දාල, වස්තුව AF point එකකට කරල shutter button එක අඩක් වන්නට ඔබන්න, එවිට කැමරාව AF points වල ඇති වස්තූන්ට නාභිගත වෙනව. බොත්තම ඔබාගෙනම, අවශ්‍ය පරිදි වස්තූන් සකසාගෙන ඡායාරූපය ගන්න. (shutter button එක සම්පූර්ණයෙන්ම එබීම මගින්.)




බොහෝ විට AF/MF බොත්තම තියෙන්නෙ කැමරාවේ කාච පද්ධතිය සමඟ. බලන්න මේක දිහා, ඔබට පේනවද මම ඒ කිව්ව බොත්තම?






ඊළඟට "Metering Mode" එක ගැන බලමු.