Tuesday, September 29, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .1 - "White Balance"

ඉස්සෙල්ල ලිපියෙ දෙවෙනි කොටසක් ගැන ඒකෙ සඳහන් නොවුනට ඒකටම සම්බධ කරල මේ දේවල් ගැන කියන්න හිතුන.
අපි ඒ ලිපියෙදි apeture, zoom, ISO, shutter speed, Depth of field, exposure වගේ දේවල් ගැන කතා කළා. මේ ලිපියෙන් එතනටම සම්බන්ධ නමුත් අර කිව්ව මූලිකම එවට වඩා ටිකක් එහා ගිය දේවල් ටිකක් තමයි මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
මුලින්ම "White Balance" ගැන කතා කරමු.

White Balance
මේකෙන් කරන්නෙ වටපිටාවෙ තියෙන ආලෝක තත්වය කොයි වගේද කියල කැමරාවට කියල දෙන එක, මොකද කැමරාව දන්නෙ නෑනෙ වටපිටාවෙ ආලෝකය ලැබෙන්නෙ මොන වගේ ප්‍රභවයකින්ද කියල. සමහරවිට සූර්යයාගෙන්, නැත්තම් සංයුක්ත ප්‍රතිදීපන පහනකින්, නැත්තම් සූත්‍රිකා පහනකින් වෙන්නත් පුළුවන්නෙ.
මෙහිදි කරන්නෙ පරිසරයේ තියෙන Colour Temperature එක ගැන කැමරාවට කියන එක. ඒක නිසා අනවශ්‍ය වර්ණ වෙනස්වීම් වෙන එක වළකිනව. සාමාන්‍යයෙන් හවස් වරුවෙ තියෙන්නෙ සිසිල් නිල් පහැති ආලෝක තත්වයක්. ඉර බැස යන අවස්ථාවක, පහන් එළියක් යටතේ ඉන්නකොට එතන තියෙන්නෙ උණුසුම් කහ පැහැති ආලෝකයක්, ප්‍රතිදෙපන පහනක් යට තියෙන්නෙ කොළ පැහැති සිසිල් ආලෝකයක්. මෙහිදී කළ හැකි සැකසුම් කිහිපයක් ඔබට ලැබෙනව, ගැළපෙනම එක තෝරා ගන්න.

Daylight or Sunny
ඉතා හොඳ සූර්යයාලෝකයක් තියෙන වෙලාවට මේක තෝරන්න.

Shade
සෙවණැලි තුළ ඡායාරූපය ගන්නවනම් මේක තමයි ගැළපෙන සැකසුම.

Cloudy
අහස වළාකුළු වලින් පිරිච්චි වෙලාවකට නම් ගැළපෙන්නෙ මේක තමා.

Fluorescent
ප්‍රතිදීපන පහන් ආලෝකය යටතේ ඡායාරූප ගන්නකොට මේ සැකසුම තෝරා ගත යුතුයි.

Tungsten
සූත්‍රිකා පහන් ආලෝකයෙන් පිරිච්ච තැනක ඡායාරූප ගත යුත්තේ මේ සැකසුම යටතේ.

Flash
සැණෙලිය සමඟ ඡාආරූප ගැනීමේදී තේරිය යුතු සැකසුම තමයි මේක.

Custom
මේකෙදි ඔබට පුළුවන් හරියට ම සුදු ආලෝකය කුමක්දැයි කැමරාවට පැවසීමට. ඒ කියන්නෙ අවස්ථාවට අනුව සමුද්දේශය කුමක්දැයි කැමරාවට පැවසීමට පුළුවන්. ඔබට කරන්න තියෙන්නෙ කැමරාව සුදු යැයි හඳුනා ගතයුතු දෙයට එල්ල කර මෙම සැකසුමේදී ඡායාරූපයක් ගැනීම, ඉන් පසු කැමරාව එම වර්ණය සුදු යැයි හඳුනා ගන්නව.

මෙහි ඉහළ ඡායාරූපය auto mode එකේදීත් යටින් ඇති එක Fluorescent එකේදිත් අරගෙන තියෙන්නෙ, බලන්න වෙනස.


සම්පූර්ණ ස්වයංක්‍රීය අවස්ථාවේ කැමරාව ක්‍රියා කරන විට, කැමරාව අවශ්‍ය පරිදි white balance එක සකසා ගන්නව, නමුත් ඒක හැම වෙලේම හරියන්නෙ නෑ. ඒ වගෙ වෙලාවට ඔබ manually, white balance එක සැකසිය යුතු වෙනව.
නැත්තම ඔබට පුළුවන් ඡායාරූපය පරිගණකයට ගත්තාට පසු white balance එක හදා ගන්න, මෘදුකාංග පාවිච්චි කරල. (eg: Photoshop, Gimp)

Thursday, September 24, 2009

කලාත්මක ඡායාරූපයක් ලබා ගැනීමට ඔවදනක්

අපිට කැමරාවක් අරන් හතරවටේ ෆොටෝ ගන්න පුලුවන්, ඒත් ඒවයින් කීයෙන් කීයද කලාත්මක ඒව වෙන්නෙ. චිත්‍ර ශිල්පියෙක් ඡායාරූපයක් ගන්න ගියොත් නම් ඔහු ටිකක් ඒ ගැන හිතයි, ඒත් වෙනත් සාමාන්‍ය කෙනෙක් ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.


මම පොඩ්ඩක් ඒ ගැන කියන්නම්, හැබැයි මේව නීති නෙමෙයි රීති, ඕනෙ කෙනෙකුට කඩන්න පුලුවන්.
ඡායාරූපයක ඇති වැදගත් දේවල්
  • එහි ඇති රේඛා හා වක්‍රයන් දිගේ ඇස ගමන් කරන ආකාරය.
  • ඡායාරූපයේ ඇති එකිනෙකට වෙනස් කොටස් එකට එකතු වී ක්‍රියාත්මක වන ආකාරය.
  • එහි ඇති වර්ණ සංකලනය
සරළව කිව්වොත් ඔබ ගන්නා ඡායාරූපය වෙනත් කෙනෙක් දැක්කොත් ඔහුගේ හෝ ඇයගේ හිත ඒකට ඇදිල යන විදිහට ඔබ ඔබේ ඡායාරූපය ගන්න ඕනෙ.
ඔබේ ඡායාරූපයට පුලුවන් වෙන්න ඕනෙ ඒකටම ආවේණික කතාවක් කියන්න.
ඡායාරූපයක් ලස්සන කරගන්න පුලුවන් ප්‍රධානම ක්‍රම කිහිපයක් තියෙනව. (composition methods)
  • S – Curves
  • Rule of thirds
  • Golden points

S – Curves
S – Curve එකක් කියල කියන්නෙ ඡායාරූපය බලන්නාගේ ඇස ඡායාරූපය තුළ ගමන් කරන වක්‍ර රේඛාවක්. මේ වගේ වක්‍ර රේඛා ඡායාරූපය තුළ තියෙනකොට, බලන පුද්ගලයාගේ අවධානය හැම වෙලේම ඡායාරූපය තුළ තියෙනව.



Rule of Thirds
ඔබට හිතිල නැද්ද, ඡායාරූපයක තියෙන දෙයක් ඒ ඡායාරූපයේ හරි මැද තියෙනවට වඩා පැත්තෙන් තිබ්බ නම් වඩා ලස්සනයි කියල. බලන්න මේ රූප දෙක දිහා. කොයිකද වඩා ලස්සන?


මට නම් හොඳ දකුණු පැත්තෙ එක.
අපි සලකන දෙය ඡායාරූපයේ මැද තිබ්බොත් අපිට හිතෙනව ඒක නැවතිලා කියල, ඒක පැත්තකට කලොත් අපිට හිතෙනව ඒක ගමන් කරනව කියල. ඡායාරූපයක් ගතික (dynamic) නම් අපිට ඒක වඩා ලස්සනට පේනව.
Rule of thirds කියන එකෙන් කියවෙන්නෙ, ඡායාරූපය හරියටම කොටස් 9කට බෙදුවොත්, දිග අතට හා හරස් අතට රේඛා 2 බැගින් ඇඳල, ඒ රේඛා දිගේ යන විදිහට ඡායාරූපය කොටස් වෙලට බෙදෙන විදිහට ඡායාරූපය ගන්න කියන එක. ඒ රේඛා වල ඡේදන ලක්ෂ වලට ඡායාරූපයේ වැදගත් දෙවල් ටික එන විදිහට ඒක compose කරගන්න. මොකද කිව්වොත් මිනිස් ඇස මුලින්ම යන්නෙ අන්න ඒ ලක්ෂ වලට නිසා.
බලන්න මේ ඡායාරූපය, අහස ඉහළම කොටසටත්, මුහුද මැද කොටසටත්, වෙරළ හා පොළව පහලම කොටසටත් එන විදිහට ඡායාරූපය අරන් තියෙනව. ඒත් එක්කම මේකෙ තියෙන වැදගත්ම දේ වෙන මිනිස් රූපයත් ඒ රේඛාවක් මතට අරන් තියෙනව.


මේක ගැන මොකද හිතන්නෙ?


Golden Points
මේක තවත් ක්‍රමයක්. ඡායාරූපකරණයට විතරක් නෙමෙයි, තව හුඟක් තැන් වල මේක යෙදෙනව, හැම කලාත්මක දෙයකටම වගේ. Golden ratio කියන්නෙ යම් අනුපාතයක්. ඒකෙ අගය වෙන්නෙ 1.618:1. මේ අනුපාතයට තියෙන ඕනෙම දෙයක් ලස්සනයි, සම්පූර්ණයි කියල තමයි කියන්නෙ. මේ අගය ලැබෙන්නෙ Fibonacci series කියන ශ්‍රේණියෙන්. (1, 2, 3, 5, 8 …)
දෙවන ඉලක්කම, පළමු ඉලක්කමෙන් බෙදාගෙන ගියාම අන්තිමේදි ලැබෙන අගය තමයි 1.618.
ඡායාරූපකරණයේදි මේක ඕනෙ මොකටද?
එතනදි තමයි Golden points කියන සංකල්පය එන්නෙ. ඡායාරූපයට භාවිතා කරන ප්‍රදේශයේ තියෙන දේවල් golden points වල තියෙනවනම් තමයි ඒව වඩාත්ම කැපිල පේන්නෙ. (Rule of thirds එකේ ඡේදන ලක්ෂ ටිකත් මේ ලක්ෂ වලට ලඟයි.)
අපි කොහොමද ඒ තැන් ටික හොයාගන්නෙ?
සරළයි, ඡායාරූපයක් කියන්නෙ ඍජුකෝණාස්‍රයක්නෙ, විකර්ණයක් ඇඳල, ඒකට තව ශීර්ෂයක ඉඳල ලම්භකයක් අඳින්න. ඔන්න එක Golden point එකක් ලැබුන, ඔහොමම අනිත් Golden points ටිකත් හොයා ගන්න පුලුවන්.
මේක බලන්න, මේකෙ තියෙනව අර කිව්ව ඍජුකෝණාස්‍රය 1:1.618 කියන අනුපාතයට බෙදාගෙන ගිහිල්ල golden point එක හොයාගන්න ආකාරය.


ඒවට අමතරව හොඳ ඡායාරූපයක් compose කරන්න පුලුවන් තව ආකාර තියෙනව.


Triangle
ඡායාරූපය තුළ ත්‍රිකෝණාකාර ප්‍රදේශයකට බලන්නාව හිරකරගන්න එක තමා මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ. අනිත් වටපිටාව සම්පූර්ණයෙන් බොඳ කරල දාල, ප්‍රධාන වස්තුව තුළ විතරක් බලන්නාව තබා ගැනීම තමයි මේකෙන් කරන්නෙ.



Eye Contact
ඇසෙන් ඇස ගැටීම. මේකෙන් ඡායාරූපය තුළ ගලා යාමක් ඇති කරනව. බලන්න මේ ඡායාරූපය දිහා, ළමයා බළලා දෙස බලා ඉන්නව, බළලා අපි දෙස බලා ඉන්නව. අපේ ඇසුත් ඒ දිගේම ගලා යනව නේද?




Tight portraits
පුද්ගල ඡායාරූපයක් ගැනීමෙදී වැදගත්ම දෙයක් තමයි, අනවශ්‍ය සියලුම දේවල් ඉවත් කරල පුද්ගලයා කැපී පෙනෙන ආකාරයට ඡායාරූපය ගැනීම.
බලන්න මේ ඡායාරූපය, පසුබිමේ තිබෙන ටීපෝව හා පැදුර ඡායාරූපයට අනවශ්‍යයි, ඒ නිසා ඒ දේවල් ඉවත් කරල පුද්ගලයාගෙන් ඡායාරූපය සම්පූර්ණයෙන්ම පිරවීම තමයි මෙතනදි වෙන්නෙ.


Expression (හැඟීම් ප්‍රකාශනය)
ඡායාරූපයකට හැකියාවක් තියෙන්න ඕනෙ බලන්නා සමඟ අදහස් හුවමාරු කරගන්න, බලන්නාට අදහස් දෙන්න. ඡායාරූපය හැඟීම් ප්‍රකාශනය හා ක්‍රියාකාරිත්වය අතින් ඉහළින් තියෙන්න ඕනෙ. බලන්න මේක, දරුවාගේ කුතුහලය, සෙල්ලම් බඩුවට තියෙන ආසාව, ඒ ගැන සොයාබලන්න තියෙන ආසාව ඔයාලට තේරෙනවද?


ඡායාරූපයට ලක්වන්නාගේ මට්ටමට පිවිසීම
ඡායාරූපයක් ගන්නකොට එයට ලක්වන දේහි මට්ටමට පිවිසිය යුතු වෙනවා.
පොඩි දරුවෙක්ගෙ ඡායාරූපයක් ගන්නව නම් ඔහුගේ මට්ටමේ සිට ගන්නා ඡායාරූපය තමයි වඩාත්ම කලාත්මක වෙන්නෙ. සතෙක්ගෙ ඡායාරූපයක් ගත යුත්තේ ඉහලින් නොවෙයි, එම සත්වයාගේ උසෙහි සිට සමාන්තරව.
පඩි පෙළක ඡායාරූපයක් ගන්නවනම් ඒක වඩා ලස්සන පහළ සිට ඉහළට ගත්තොත් නේද?

මේ කිව්වෙ සාමාන්‍යයෙන් භාවිතා වන ටිකක්. ඔයාලට මීට වඩා නිර්මාණශීලීව හිතන්න පුලුවන් නේද? එහෙනම් ඇයි තවත් බලා ඉන්නෙ, හිතල බලල ගන්න හොඳ, ලස්සන, කලාත්මක ඡායාරූපයක්.






Saturday, September 19, 2009

ඡායාරූපකරණයේදී ආලෝකය භාවිතය

ඡායාරූපකරණය කියන එක, එක අතකින් හඳුන්වන්න පුලුවන්, "ආලෝක කිරණ සටහන් කරගැනීමක්" විදිහට. ඒක නිසා තමයි, ඡායාරූපයක් ගැනීමේදී ආලෝකය කියන දේ එච්චරටම වැදගත් වෙන්නෙ. 
ඡායාරූපයේ සම්පූර්ණ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ ඒ ඡායාරූපයේ තියෙන ආලෝක තත්වයන් හා පවතින ආලෝක තත්වයන්ගේ නිවැරදි භාවිතය මත. ඒ නිසා ආලෝකකරණය ඉතාම පරිස්සමෙන් තෝරා ගත යුතු වෙනව. 
දවල් කාලයේදි ඉරෙන් ලොකු එලියක් ලැබෙනව, ඒ වගේම ඒකෙන් තියුණු සෙවණැලිත් වැටෙනව, ඒ වගේ වෙලාවට ගැලපෙන විදිහට ඡායාරූපය හදාගන්න (compose) ඕනෙ.


ආලෝකය හුඟක් වැඩි නම්, මිනිස් රූපයක් වගේ ගන්නව නම්, සෙවණ ඇති තැනකට යන එක වඩා හොඳයි. නැත්තම්, පරාවර්තක (reflectors), විසරක (diffusers) වගේ භාවිතා කරල ආලෝකය පාලනය කර ගන්න ඕනෙ වෙනව. නැත්තම් ඡායාරූපය අවලස්සන වෙයි.
නැත්තම් තව දෙයක් කරන්න පුලුවන්. ප්‍රභල සැණෙලියක් භාවිතා කරල ව්‍යාජ සූර්යයාලෝකයක් ඇති කරල අර ඇති වෙනව කිව්ව සෙවණැලි ආලෝකයෙන් පිරවීම. ඒකට කියන්නෙ fill flash කියල. හැබැයි ඒක කරනකොට දැනට පවතින සූර්යයලෝකයේ වර්ණය ගැනත් හිතන්න ඕනෙ.


තව දේවල් පස්සට.

Wednesday, September 16, 2009

“Point and Shoot”සමඟ“DSLR”

කැමරාව ගැන දැන් ටිකක් විස්තර දන්නවනෙ, දැන් පොඩ්ඩක් වෙනත් පැත්තකට හැරෙමු. ඡායාරූප ගැනීම ගැන දැන් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනව. ඊට පස්සෙ ආපහු කැමරාව සම්බන්ධ දේවල් ටිකක් යළි කතා කරමු.

යාළුවට DSLR එකක් තියෙද්දි මට තියෙන්නෙ Normal Camera එකක්නෙ, වැඩක් නෑ" කියල හිතෙනවද


අනිවාර්යයෙන් හිතිල ඇති.

දුක් වෙන්න එපා. ඒ ගැන සතුටු වෙන්න කාරණා ටිකක් මම කියන්නම්.
ඔයාට පුලුවන් එයාට වඩා හොඳ ඡායාරූපයක් ගන්න. ඇයිද දන්නවද?
  • ඔයාගෙ ඔය සරළ කැමරාව, සැහැල්ලුයි, පොඩියි. ඔයාට ඕනෙ තැනක ගෙනියන්න, හැම වෙලේම ඔයා එක්ක තියා ගන්න පුලුවන්. ඔයාගෙ යාළුවට ඒ වැඩේ කරන්න බෑ නේද? J
  • එයාගෙ කැමරාවෙ කාචය වගේම ඔයාගෙ කැමරාවෙ කාචයත් හොඳයි. හුඟක් ආධුනික DSLR හිමියන් ඒ කැමරව එක්ක එන ලාභදායී කාචය මාරු කරන්න හිතන්නෙ නෑ.
  • එයා එයාගෙ මූලික ආලෝක ප්‍රභවය විදිහට පාවිච්චි කරන්නෙ, එයාගෙ කැමරාවෙ තියෙන popup flasher එක. ඔබ ඊට වඩා නිර්මාණශීලී නේද?
  • ඔබේ කැමරාවෙ තියෙන සැණෙලියනයෙන් (flasher) ලැබෙන ආලෝකය හා පරිසරයේ ආලෝකය එකට එක් කිරීමට, ඔබේ ඔය සරළ කැමරාව යාළුවගෙ DSLR එකට වඩා දක්ෂයි. එයා කොච්චර දුක් විඳින්න ඕනෙද ඒකෙ settings ටික (white balance වගේ) බාහිර ආලෝක ප්‍රභවයට ගැලපෙන විදිහට හදන්න.
හොඳම කතාව දැන් කියන්නම්. වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ලඟ තියෙන ලට්ට ලොට්ට ගොඩෙන් එයාට පුලුවන් ඔයාට වඩා ගොඩක් දේවල් කරන්න. එත් දන්නවද, එයා ඒ බඩු ගොඩ අරන් කොහේ ගියත් එයාගෙ සාක්කුවෙ හැම වෙලේම ඔයා ලඟ තියෙනව වගේ සරළ චූටි කැමරාවකුත් තියෙනව. :D
කූඹියගෙයි අලියගෙයි කතාව දනවනෙ? "අලිය කොච්චලොකු ලොකු වැඩ කලත්, කූඹියට පුලුවන් අලියට කරන්න බැරි වැඩ ගොඩක් කරන්න". J

Friday, September 11, 2009

කැමරාව නිවැරදිව අල්ලා ගන්නේ කෙසේද? – 2

පසුගිය ලිපිය හා සම්බන්ධයි. මේ එම ලිපියේ දෙවන කොටසයි.


පහත් මට්ටම් වල සිට ඡායාරූප ගැනීමේ ක්‍රම
ඡායාරූපයක් ගන්නකොට හැමවෙලේම හිටගෙන ගන්න බෑනෙ. බිමට පහත් වෙලා ඡායාරූපය ගන්න වෙන අවස්ථා බොහොමයි. කොහොමද එතකොට කැමරාව අල්ල ගන්නෙ. බලන්න මේ රූපය දිහා.


කැමරාව අල්ල ගන්න ආකාරය පෙර පරිදිමයි, මේ ඉන්න විදිහට අත් දෙක ඇඟට ලන් කරල ඉන්න බෑනෙ, මොකද කරල තියෙන්නෙ? අත් දෙකේම බර දණිස් දෙකට දීල. එතකොට ඉස්සෙල්ල වගේම තාමත් කැමරාව ස්ථායී.
පොඩ්ඩක් ඇඳුම් වල කුණු දූවිල්ල ගෑඋනාට කමක් නැත්තම් වැඩිපුර හිතන්නෙ නැතුව හොඳට හරි බරි ගැහිල බිම ඉඳගන්න, ඒක තමයි හොඳම ක්‍රමේ. මෙන්න බලන්න මේක.



බිම වැතිරී ඡායාරූප ගැනීම
Macro ඡායාරූපයක් වගේ ගන්නකොට ඡායාරූපයට ලක් වන දේට හුඟක් ලං වෙන්න ඕනෙ, ඒක තියෙන්නෙ පොළව මට්ටමේ නම්? එක දෙයයි කරන්න තියෙන්නෙ,
බිම දිගා වෙන්න.

හැම වෙලේම මතක තියාගන්න ඔබේ ශරීරය tripod එකක් කරගන්න, අත් දෙක හා නළල.


ආධාරක උපයෝගී කර ගැනීම
මම හැම වෙලේම කිව්වනෙ ස්ථාවරත්වය තමයි වැදගත්ම කියල. ඉතින් පුලුවන් කමක් තියෙනවනම් බාහිර ආධාරක උපයෝගී කරගන්න පැකිලෙන්න එපා. බිත්තියක්, ගහක්, වාහනයක්, කණුවක්, ඕනෙම දෙයක්.
බිත්තියක් වගේනම් ඔබට පුලුවන් කැමරාව ඒ මත තියල ඔබත් බිත්තියට හේත්තු වෙලා ඡායාරූපය ගන්න. (එහෙම ගන්න පුලුවන් එකක් නම් ඔබ ගන්නෙ.)


දැන් හරි, දැන් තියෙන්නෙ ඡායාරූපයක් ගන්න.
තව වැදගත් දෙයක් තියෙනව කියන්න, ඡායාරූපය ගනිද්දි හුස්ම ගන්න එපා (shutter බොත්තම ඔබද්දි). හුස්මක් අරන් හිර කරගෙන ඡායාරූපය ගන්න, නැත්තම් හුස්ම හෙලුවට පස්සෙ ගන්න.

Tuesday, September 8, 2009

කැමරාව නිවැරදිව අල්ලා ගන්නේ කෙසේද? - 1

සමහරු හිතන්න පුලුවන් මේක කිසිම ප්‍රයෝජනයක් නෑ කියල, ඒ උනාට මේකත් හුඟක් වැදගත් දෙයක්.
ඔබට පුළුවන්ද කැමරාව ස්ථායීව දිගු වේලාවක් එකම ආකාරයට අල්ලාගෙන ඉන්න? ඔබ භාවිතා කරන්නෙ විශාල කාච පද්ධතියක් සහිත DSLR එකක් නම්? හරියට කැමරාව අල්ලගන්න බැරුව ඔබ ගත්තු ඡායාරූප කීයක් බොඳ වෙලා තියෙනවද?
අන්න ඒ හින්දයි, ඔබ කැමරාවක් ගත්තම ඒක නිවැරදිව අල්ලාගන්නා ආකාරය ඉගෙන ගත යුත්තේ. කැමරාවේ නිවැරදි ග්‍රහණය තමයි, තියුණු ඡායාරූපයක පාදම වෙන්නෙ.
කැමරාව අල්ලා ගන්නා ආකාරය කැමරාව අනුව වෙනස් වෙනව.

මූලික සිට ගැනීමේ ඉරියව්ව
බලන්න මේ ඉරියව්ව දිහා, මේක තමයි, DSLR/ASLR එකක් අල්ල ගන්න මූලික ඉරියව්ව.


කැමරාව නළලට සිරකරගත යුතුයි, වම් අතේ අල්ල උඩට කැමරාවෙ බර දෙන්න, දබරැඟිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි කාචය අල්ලා ගන්න. දකුණු අතේ දබරැඟිල්ල පාවිච්චි කරන්න shoot බොත්තම ඔබන්න, අනෙක් ඇඟිලි 4න් කැමරාව අල්ලා ගන්න. වැලමිටි දෙක ඇඟට හිරවෙන්න තියාගන්න. ඔබට tripod එකක් නැති නිසා තමුන්ගෙ ශරීරය tripod එකක් කරගන්න ඕනෙ කැමරාවට.
මේ ක්‍රම නම් සම්පූර්ණයෙන් වැරදි ක්‍රම. එය ඡායාරූපයට වගේම කැමරාවටත් හොඳ නැති ක්‍රම.

සිටගෙන සිටීමේදී පාද පිහිටිය යුතු ආකාරය
පුලුවන් තරම් ශරීරය ස්ථායීව තබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නෙ. ඉතින් ඒකට පාද තබා ගත යුතු ආකාරයත් වැදගත්.
පාද දෙක ඈත් කරල, වම් කකුල ටිකක් ඉදිරියට තබල, ඉනෙන් ඇඟ ටිකක් පසු පසට බර කරල, කැමරාවේ බර තමුන්ගේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන විදිහට ඉන්න. ඒක තමයි හරිම ක්‍රමය.
කැමරාව සිරස් අතට අල්ලා ගන්නා ආකාරය.
සිරස් අතට ඡායාරූපයක් ගැනීමේදී කැමරාව අල්ලන ආකාරය පොඩ්ඩක් වෙනස් වෙනව. බලන්නකො මේ රූපය දිහා.
කැමරාව අංශක 90ක් භ්‍රමණය කරන්න, කැමරාව ඇසෙන් ඉවතට ගන්නෙ නැතුව. වම් අතෙන් කැමරාවෙ කාච කොටස අල්ලගෙන ඉන්න ගමන්ම. ඔබ චලනය කළ යුත්තේ දකුණු අත පහළටයි, ඉහළට නොවෙයි. හැම වෙලේම අත් දෙක ඇඟට තද වෙලා තියෙන්න ඕනෙ.
මේ ක්‍රමයට අමතරව තව ක්‍රමයක් තියෙනව.
මේක බලන්න. මොකද හිතෙන්නෙ?



මේකත් ඉතාම හොඳ පහසු ඉරියව්වක්. කැමරාව ඔබේ දකුණු අතේ වැලමිට උඩින් තියා ගන්න. (ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න.) දවස පුරාම ඡායාරූප ගන්න අයට මේක හොඳ ඉරියව්වක්, අතටත් ටිකක් විවේකයක් ලැබෙනවනෙ.
හැබැයි මේකෙ තියෙන දුර්වලතාවය තමයි, කාචය සම්බන්ධ වෙනස් කිරීම් කළ නොහැකි වීම.


අපි මෙච්චර වෙලා කතා කළේ ලොකු ලොකු කැමරා ගැනනෙ.


ඔබට තියෙන්නෙ සාමාන්‍ය සංයුක්ත ඩිජිටල් කැමරාවක්ද?

ඒකත් හිතුනු හිතුනු විදිහට අල්ලන්න බෑ. මොකද ඒකටත් සෙලවීම් වගේ දේවල් පොදුයි. හුඟක්ම සංයුක්ත ඩිජිටල් කැමරා වල view finder එකක් නෑ, තියෙන්නෙ LCD තිරයක් විතරයි. අනික ඒව හරිම පුංචි නිසා තදින් අල්ලගන්නත් බෑ.
View finder එකක් තියෙනවනම් අනිවාර්යයෙන් ඒක පාවිච්චි කරන්න.
මේකටත් අර මුලින් කිව්ව නීති ටික බලපානව. අත් දෙකෙන්ම අල්ලන්න, අත් දෙක ඇඟට හිර වෙන විදිහට වැලමිටි ඇඟට තද කරල තියාගන්න.
පටියක් තිබෙනවනම්, අනිවාර්යයෙන්ම ඒක මැණික් කටුව වටේ ඔතාගන්න.

වම් අතේ ඇඟිලි ටික බලන්න. ඒව හරියට තියාගන්න, නැත්තම් ඒව කාචය ඉදිරියට ඇවිල්ල දන්නෙම නැතුව කාචය වසා ගනීවි.
නැත්තම ලේසිම ක්‍රමේ තමයි මේක. කැමරාව වම් අතේ අල්ල උඩින් තියාගන්න, මහපට ඇඟිල්ලෙන් කැමරාව තද කරල අල්ල ගන්න.

සිරස අතට අල්ලන්නෙ කොහොමද? මෙන්න මෙහෙමයි. බලන්නකො.




තවම ඉවර නෑ, ඊලඟ ලිපියෙන් කියන්නම්, වඩා පහත් මට්ටම් වල ඉඳල ඡායාරූපයක් ගන්නකොට මොකද කරන්න ඕනෙ කියල හා වෙනත් ආධාරක උපයෝගී කරගන්නෙ කොහොමද කියල.