Tuesday, September 1, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් ටිකක්.

මෙතැන් සිට ඉදිරියට කැමරාවෙ තියෙන දේවල් ගැන කියන්න ඉන්න නිසා මේ දේවල් ටික ගැන මුලින් කියල ඉන්න ඕනෙ. නැත්තම් පස්සට කරදර.

ISO speed
ISO speed කියල කියන්නෙ කැමරාවේ සංවේදීතාවය සමඟ බැඳුනු දෙයක්. ඔයාල සේයා පට යොදාගන්නා කැමරා භාවිත කරල තියෙනවනම් ඒ සේයා පටයේ තියෙන ISO 100 නැත්තම් ISO 200 කියල තියෙන ඉලක්කම ගැන හිතල තියෙනවද? ඒ තමයි ISO speed එක. ඒකෙන් කියන්නෙ ඔය කියල සේයා පටය ආලෝකයට කෙතරම් සංවේදීද කියන එක. ඉලක්කමේ විශාලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේදීතාවයත් වැඩි වෙනව.
සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ගනිද්දි ISO100 හොඳටම ඇති. හවස් වරුවකට 400 වඩාත්ම ගැළපෙනව. රාත්‍රියේදී, අඳුරු පරිසරයකදී ගන්නවනම් 800, 1600 වගේ විශාල ISO අගයක් තියෙන එකක් පාවිච්චි කරන එක හොඳයි.
මේක 25, 50, 100, 200, 400, 800, 1600, 3200 කියන අගයන්ගෙන් තියෙනව.
ෆිල්ම් කැමරාවකදි එහෙම වෙනස් කරන ISO speed එක ඩිජිටල් කැමරාවකදි කැමරාව තුළ තිබෙන සැකසුම් වෙනස් කිරීමෙන් ලබා ගන්න පුලුවන්.


Exposure (අනාවරණය)
Exposure කියල කියන්නෙ, ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය / සේයා පටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණයට. ඒක මනින්නෙ ලක්ස් තත්පර (Lux seconds) වලින්. මේක රඳා පවතිනව කැමරාවේ ශටරය ඇරිල තියෙන කාලයත්, කැමරාව තුලට ආලෝකය ලබා ගන්න සිදුරේ විෂ්කම්භයත් මත (aperture). ශටරය ඇරිල තියෙන කාලෙ වැඩිවෙනකොට අනාවරණ කාලයත් වැඩි එනව. නැත්තම් aperture සයිස් එක ලොකු වෙන්න ලොකු වෙන්නත්, කැමරාව තුළට වැටෙන ආලෝකය වැඩි වෙනව. ඒ කියන්නෙ exposure එක වැඩි වෙනව කියන එක තමයි.

Aperture
Aperture කියල සරළව කියන්නෙ "සිදුර" කියන තේරුම. කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුළට යන ප්‍රමාණය පාලනය කරන සිදුරට තමා aperture එක කියල කියන්නෙ. අපිට පුළුවන් ඒ සිදුරේ ප්‍රමාණය පාලනය කරල, කැමරාවේ ආලෝක සංවේදකය මතව වැටෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න.
මේක බලන්නකො. පේනවද?

සිදුර ලොකු වෙන්න ලොකු වෙන්න, ඇතුළට යන ආලෝක ප්‍රමාණය වැඩි වෙන නිසා ඡායාරූපය ටික ටික ආලෝකමත් වෙනව. මොකද්ද ඔයාලට මතක් වෙන්නෙ?.......
ආලෝක ප්‍රමාණය වැඩි වෙනව කියන්නෙ මොකද්ද?
Exposure එක වැඩි වෙනව කියන එක නේද?
තව ටිකක් තියෙනව කියන්න. Aperture size එක වෙනස් වෙනකොට ඡායාරූපයේ Depth Of Field එකත් වෙනස් වෙනව. ඒ මොකද්ද කියල තව ටිකකින් කියල දෙන්නම්.

Shutter Speed
Shutter Speed කියල කියන්නෙ කැමරාව තුළට ආලෝකය ලබා ගන්නකොට අරින වහන දොර කොච්චර වෙලා ඇරගෙන ඉන්නවද කියන එකයි. එතනදිත් අර ඉස්සෙල්ල කිව්ව සිද්දියම වෙනව, වැඩි වෙලා ඇරගෙන හිටියොත් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළට එනව, අඩු වෙලාවක් ඇරගෙන හිටියොත් ඇතුළට එන ආලෝක ප්‍රමාණය අඩු වෙනව.
ඒක මනින්නෙ තත්පර වලින්, හැබැයි කියන්නෙ තත්පරයකින් කීයෙන් පංගුවක්ද කියලයි. උදා: 1/1000 s, 1/500 s, 1/250 s, 1/60 s, 1/30 s, 1/15 s, 1/8 s, 1/4 s, 1/2 s, 1 s, 2 s, ...
මේක බැලුවම ඔයාලත තේරේවි shutter speed එක වෙනස් වෙනකොට ඡායාරූපයට මොකද වෙන්නෙ කියල.


Focal length
ඇත්තම කිව්වොත් කැමරාවක තියෙන්නෙ එක කාචයක් නෙමෙයිනෙ, කාච පද්ධතියක්. ඉතින් ඒ කාච පද්ධතියෙම සංයුක්ත නාභිය දුර තමා මේ focal length කියල කියන්නෙ. (හැබැයි සරළ point and shoot කැමරාවක තියෙන්නෙ ස්ථිර නාභිය දුරක් තියෙන එක කාචයක් විතරයි)
කාච පද්ධතියේ නාභිය දුර අනුව ඒව කොටස් 3 කට බෙදන්න පුලුවන්. ඒව ගැනත් ඉස්සරහට සවිස්තරව කියන්නම්.
ඒක වෙනස් වෙනකොටත් ඡායාරූපයට එක එක වෙනස්කම් වෙනව.
මෙතනදිත් එනව මම තාම ඔයාලට කියල නොදුන්න අර ඉස්සෙල්ලත් කිව්ව එක, Depth Of Field. Focal length එක වැඩි වෙන්න වැඩි වෙන්න depth of field එක අඩු වෙනව, focal length අඩු වෙන්න අඩු වෙන්න depth of field එක වැඩි වෙනව.

Depth Of Field (DOF)
ඡායාරූපයේ තියෙන ගැඹුර තමයි මේ Depth Of Field එක කියල කියන්නෙ. ගැඹුර වැඩි වෙනව කියන්නෙ වැඩි ප්‍රදේශයක තියෙන දේවල් හරියට පැහැදිලිව පේන විදිහට නාභිගත වෙලා, ගැඹුර අඩු වෙනව කියන්නෙ පොඩි ප්‍රදේශයක් විතරයි නාභිගත වෙලා තියෙන්නෙ.
මේතන මේ ප්‍රදේශය කියල කියන්නෙ මුලු ඡායාරූපයේ වර්ගඵලය ගැන නෙමෙයි, එක එක වස්තු පිහිටි තලයන් ගැන. ගැඹුර වැඩි වෙනකොට තලයන් ගොඩක් නිවැරදිව නාභිගත වෙනව.
බලන්නකො මේව.
මේකෙ DOF අඩුයි. බලන්න, දකුණු පැත්තෙ තියෙන මාර්ග සංඥා පුවරුව විතරයි නේද පැහදිලිව නාභිගත වෙලා තියෙන්නෙ.

මේකෙ DOF වැඩියි. මුළු ප්‍රදේශයම හොඳින් නාභිගත වෙලා තියෙන හැටි බලන්න.


Zooming
දුරස්ථ දෙයක් ඡායාරූපයකට හසු කර ගැනීමේදී ඒ දෙය කැමරාව මගින් ලඟට ගෙන්න ගන්න පුලුවන්. එක අතකින් කිව්වොත් ඒක ව්ශාලනයක්. ඒකට තමා zoom කරනව කියල කියන්නෙ.
ඒකෙත් කොටස් දෙකක් තියෙනව optical හා digital කියල. ඒ ගැන විස්තර ඉදිරියට. විවිධ නාභිය දුර සහිත කාච පද්ධතියක තමයි , කැමරාවෙ තියෙන්නෙ. ඒකෙ නාභිය දුර වෙනස් කිරීමෙන් පුලුවන් zoom එක වෙනස් කරන්න.
විශාලනයට අමතරව මේකෙන් තව ලස්සන වැඩ දාන්න පුලුවන්.


14 comments:

  1. ශා මරු, දිගටම විස්තර ඇතුව මේ විදියටම උදාහරනත් එක්කම ලියන්න

    ReplyDelete
  2. Its explain clearly.. weldone!!
    In DOF,First pic is a Shallow DOF and 2nd one is Extended DOF.

    Also, explain about Aperture.. In Photography, when we say BIG Aperture mean small f-number.

    ReplyDelete
  3. ඔයාට ස්තුතී!

    ReplyDelete
  4. බොහොම ස්තූතියි. සිංහළෙන් කියවනකොට වඩාත් පැහැදිලියි. මේ සටහන් තැබීමත් ඔබේ දැනුම බෙදා ගැනීමත් ඡායාරූප ශිල්පයට ලැදි මට ගොඩක් වටිනවා. :D

    ReplyDelete
  5. නියමයි, එල ඔහොම යන්...

    ReplyDelete
  6. ලිපි පෙළ විතරක් නෙමෙයි.. භාෂා ශෛලියත් ඉතාම හොඳයි. කියවන්න ආස හිතෙනවා ඔහොම ලියනකොට.

    Metering Mode ගැනත් පුළුවන් නම් කුප්පියක් දාන්න... විකිපීඩියාවෙ තියෙන විස්තරය මට ටිකක් පැහැදිළි මදි වගේ.
    http://en.wikipedia.org/wiki/Metering_mode

    ReplyDelete
  7. @ශාකුන්තල: මම මේ ගැන පසු ලිපියක ලිව්ව මම හිතන්නෙ.

    ReplyDelete
  8. Thanks, මම මේ වගේ තැනක් හොය හොයා හිටි යේ..
    sanjee

    ReplyDelete
  9. thanks mata godak watinawa ma dawal.

    ReplyDelete
  10. ස්තූතියි හුඟකි පැහැදිලි විස්තර කිරීමක්

    ReplyDelete