කැමරාවේ ඇති විවිධ modes
ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ නෑ.
කැමරාවේ ස්වංක්‍රීය හා ස්වංක්‍රීය නොවන modes කිහිපයක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියල.
බලන්නකෝ, කැමරාවෙ මෙන්න මේ වගේ භ්‍රමණය කළ හැකි ආකාරයේ knob එකක් තිබෙනව, එහි තිබෙනව යම් යම් modes ටිකක්, ඒව අපි එකිනෙක හඳුනා ගනිමු.
මේ ටික ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබනව.
- Basic Zone
- Creative Zone
මුලින් බලමු Basic Zone එක ගැන.
මෙහි කරන්නේ කැමරාව තුළ මුලින් සකසා ඇති විධාන (Pre-defined settings) වලට අනුව ඡායාරූපය ලබා ගැනීම. අපි ඒ අදාල mode එකක් තෝරාගෙන ඡායාරූපයක් ගත්තොත්, ඒ තෝරාගත් mode එකට අදාළ settings වලට අනුව ඡායාරූපය ලබා දෙනව.
මේ සියල්ල හැඳින්වෙන්නේ automatic modes විදිහට.
Fully Automatic
පළමු එක තමයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය ආකාරය. මේක තමයි පහසුම mode එක, ඔබට කිසිම දෙයක් හොයන්න කරන්න නෑ, ගැනීමට අවශ්‍ය දෙයට නාභිගත කරල ඡායාරූපය ගැනීම විතරයි කරන්න තියෙන්නෙ. අවශ්‍ය සියලුම settings කැමරාව මගින්ම තීරණය කරල ඡායාරූපය ගන්නව.
සාමාන්‍ය ඡායාරූපයක් ගැනීමේදී මේක තමයි පහසුම. නමුත් මේක නිර්මාණාත්මක ඡායාරූපයක් ගැනීමට කොහෙත්ම සුදුසු නෑ.
සැ. යු. : කැමරාව, පරිසරයේ තියෙන තත්ව බලල උපකල්පනය කරනව මේ දැන් ගන්න යන්නේ මෙන්න මේ ආකාරයේ ඡායාරූපයක් කියල, හැබැයි කැමරාව වැරදි වෙන්න පුළුවන්.
Portrait mode
පුද්ගලයෙකුගේ සමීප ඡායාරූපයක් ගැනීමේදී තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. සම්පූර්ණ පසුබිමම බොඳ කරල දාල, පුද්ගලයාගේ රූපය විතරක් නාභිගත වෙන විදිහට තමයි මෙහිදී ඡායාරූපය ගැනෙන්නෙ.
පුද්ගලයාගෙන් ඡායාරූපය පිරෙන ආකාරයට ඡායාරූපය ගත යුතුයි, එය, කැමරාව පුද්ගලයා දෙසට ලන් කිරීම හෝ විශාලනය (zooming) කිරීම මගින් කළ හැකියි.
බොහෝ විට මෙහිදී ගැනෙන්නේ පුද්ගලයාගේ මුහුණ පමණක් හෝ මුහුණ හා උරහිස් ප්‍රදේශය පමණයි.
ආලෝක තත්ව මදි නම් සැණෙලිය භාවිතා කරන්න පුළුවන්.
Macro mode
නම macro උනාට මේකෙන් කරන්නෙ ඉතා කුඩා දේවල් ඡායරූපයට නැගීම. කුඩා කෘමියෙක්, ලස්සන මලක්, හෝ වෙනත් කුඩා දෙයක් ඡායාරූපයට නැගීමේදී ඔබ භාවිතා කළ යුත්තේ මෙම mode එක. මෙහිදී සැලකිය යුතු තවත් කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනව. මම ඒ ගැන පසුවට කියන්නම්.
මෙහිදී ඡායාරූපයට නැගෙන දෙය කැමරා කාචයට 2 – 10 cm ඈතින් තමයි තිබිය යුත්තේ. හුඟාක්ම ලඟින් තිබෙන නිසා කැමරාව හැසිරවීම ඉතාම පරෙස්සමෙන් කළ යුතුයි, මොකද කැමරාවේ ඉතා කුඩා සෙලවීමකින් නාභිගත වීම නැතිවෙනව. මෙම mode එකේදි tripod එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්.
Landscape mode
මේක හඳුන්වල දෙන්න පුළුවන් macro mode එකේ විරුද්ධ එක කියල. ඡායාරූපයේ ගැඹුර හුඟක් වැඩි කරල, ඉතා ඈත තිබෙන දේවලුත් නාභිගත වෙන විදිහට ලොකු ප්‍රදේශයක ඡායාරූපයක් ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. පරිසරයේ ලස්සන ඡායාරූප ගතකරනවනම් මේක තමයි ඔබ භාවිතයට ගත යුතු Landscape mode එක.
සැ. යු. : තිබෙන ආලෝක තත්වය අනුව කැමරාව, අඩු shutter speed එකකට යන්න ඉඩ තියෙනව, එම නිසා කැමරාව නොසෙල්වී තබා ගැනීම සඳහා tripod එකක් භාවිත කරන්න පුළුවන්නම් හොඳයි.
Sports mode (Action mode)
චලනය වෙන වස්තුවක් ඡායාරූපගත කරනකොට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. ක්‍රීඩකයෙක්, ගමන් කරන වාහනයක්, දුවන සතෙක් වගේ ඡායාරූපයක් ගැනීමේදී මෙම mode එක හුඟක් ප්‍රයෝජනවත්. මෙහිදී කරන්නෙ, චලනය වන වස්තුව නිශ්චල කර (freeze) ඡායාරූපය ලබා ගැනීම. මේකට ටිකක් හැකියාව ඕනෙ, මොකද චලනය වන වස්තුවකට නාභිගත කර ගැනීම ටිකක් අපහසු කාර්යයක් නිසා.
නමුත් සමහර කැමරා වල මීට විසඳුමක් තිබෙනව, AI SERVO. ඒකෙන් කරන්නෙ, චලනය වන වස්තුවට එක්වරක් නාභිගත කරගත් වහාම එම ස්ථානයට නාභිය සිරකර ගැනීම (Focus Lock). එවිට වස්තුව කොහේ ගියත් හැම වෙලේම කැමරාව වස්තුවට නාභිගත වෙලා තමයි තියෙන්නෙ. එක දිගට ඡායාරූපාවලියක් (continuous shooting) ගැනීමේදි මේක ඉතාම ප්‍රයෝජනවත්.
Night mode
නමෙන්ම තේරෙනවනෙ මොකද්ද කියල? අඳුරු අවස්ථා වලදී (අඩු ආලෝක තත්ව යටතේ) ඡායාරූප ගැනීමට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. පෙරබිම (foreground) ආලෝකමත් කිරීමට සැණෙලිය (shutter) ක්‍රියාත්මක වන අතරම, පසුබිමෙන් (background) වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉතා අඩු shutter speed එකක් භාවිත වෙනව. දිගු වේලාවක් ශටරය විවෘත වෙලා තියෙන නිසා, tripod භාවිතය අත්‍යවශ්‍යයි.
නමුත් ඔබට ඕනෙ නම් නිර්මාණාත්මක, විනෝදාත්මක ඡායාරූපයක් ගන්න, පසුබිම බොඳ කරල එහෙම, අතේ තියාගෙන ඡායාරූපය ගත්තට කිසිම වැරැද්දක් නෑ.
ආලෝකයෙන් පිරි, රාත්‍රී සාදයක්ට නම් කියාපු mode එක. ලස්සන ඡායාරූප ටිකක් ගන්න පුළුවන්.
Video mode
සමහර කැමරා වලින් පුළුවන් ඡායාරූප ගැනීමට අමතරව, විඩියෝ දර්ශනත් සටහන් කරගන්න, මෙම mode එක තෝරාගත්තම ඔබට video recording කරන්න පුළුවන්.
මීළඟට කතා කරමු, creative zone එක ගැන. ඔබ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙන් වෙන්න කැමති නම් මෙම modes ටික ගැන හොඳට දැනගෙන ඉන්න ඕනෙ.
















