Thursday, September 3, 2009

Basic Camera Modes

කැමරාවේ ඇති විවිධ modes




ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ නෑ.
කැමරාවේ ස්වංක්‍රීය හා ස්වංක්‍රීය නොවන modes කිහිපයක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියල.
බලන්නකෝ, කැමරාවෙ මෙන්න මේ වගේ භ්‍රමණය කළ හැකි ආකාරයේ knob එකක් තිබෙනව, එහි තිබෙනව යම් යම් modes ටිකක්, ඒව අපි එකිනෙක හඳුනා ගනිමු.



මේ ටික ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබනව.
  1. Basic Zone
  2. Creative Zone


මුලින් බලමු Basic Zone එක ගැන.
මෙහි කරන්නේ කැමරාව තුළ මුලින් සකසා ඇති විධාන (Pre-defined settings) වලට අනුව ඡායාරූපය ලබා ගැනීම. අපි ඒ අදාල mode එකක් තෝරාගෙන ඡායාරූපයක් ගත්තොත්, ඒ තෝරාගත් mode එකට අදාළ settings වලට අනුව ඡායාරූපය ලබා දෙනව.
මේ සියල්ල හැඳින්වෙන්නේ automatic modes විදිහට.





Fully Automatic 

පළමු එක තමයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය ආකාරය. මේක තමයි පහසුම mode එක, ඔබට කිසිම දෙයක් හොයන්න කරන්න නෑ, ගැනීමට අවශ්‍ය දෙයට නාභිගත කරල ඡායාරූපය ගැනීම විතරයි කරන්න තියෙන්නෙ. අවශ්‍ය සියලුම settings කැමරාව මගින්ම තීරණය කරල ඡායාරූපය ගන්නව.
සාමාන්‍ය ඡායාරූපයක් ගැනීමේදී මේක තමයි පහසුම. නමුත් මේක නිර්මාණාත්මක ඡායාරූපයක් ගැනීමට කොහෙත්ම සුදුසු නෑ.
සැ. යු. : කැමරාවපරිසරයේ තියෙන තත්ව බලල උපකල්පනය කරනව මේ දැන් ගන්න යන්නේ මෙන්න මේ ආකාරයේ ඡායාරූපයක් කියලහැබැයි කැමරාව වැරදි වෙන්න පුළුවන්.



Portrait mode
පුද්ගලයෙකුගේ සමීප ඡායාරූපයක් ගැනීමේදී තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. සම්පූර්ණ පසුබිමම බොඳ කරල දාල, පුද්ගලයාගේ රූපය විතරක් නාභිගත වෙන විදිහට තමයි මෙහිදී ඡායාරූපය ගැනෙන්නෙ.
පුද්ගලයාගෙන් ඡායාරූපය පිරෙන ආකාරයට ඡායාරූපය ගත යුතුයි, එය, කැමරාව පුද්ගලයා දෙසට ලන් කිරීම හෝ විශාලනය (zooming) කිරීම මගින් කළ හැකියි.
බොහෝ විට මෙහිදී ගැනෙන්නේ පුද්ගලයාගේ මුහුණ පමණක් හෝ මුහුණ හා උරහිස් ප්‍රදේශය පමණයි.
ආලෝක තත්ව මදි නම් සැණෙලිය භාවිතා කරන්න පුළුවන්.


Macro mode




නම macro උනාට මේකෙන් කරන්නෙ ඉතා කුඩා දේවල් ඡායරූපයට නැගීම. කුඩා කෘමියෙක්, ලස්සන මලක්, හෝ වෙනත් කුඩා දෙයක් ඡායාරූපයට නැගීමේදී ඔබ භාවිතා කළ යුත්තේ මෙම mode එක. මෙහිදී සැලකිය යුතු තවත් කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනව. මම ඒ ගැන පසුවට කියන්නම්.
මෙහිදී ඡායාරූපයට නැගෙන දෙය කැමරා කාචයට 2 – 10 cm ඈතින් තමයි තිබිය යුත්තේ. හුඟාක්ම ලඟින් තිබෙන නිසා කැමරාව හැසිරවීම ඉතාම පරෙස්සමෙන් කළ යුතුයි, මොකද කැමරාවේ ඉතා කුඩා සෙලවීමකින් නාභිගත වීම නැතිවෙනව. මෙම mode එකේදි tripod එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්.





Landscape mode
මේක හඳුන්වල දෙන්න පුළුවන් macro mode එකේ විරුද්ධ එක කියල. ඡායාරූපයේ ගැඹුර හුඟක් වැඩි කරල, ඉතා ඈත තිබෙන දේවලුත් නාභිගත වෙන විදිහට ලොකු ප්‍රදේශයක ඡායාරූපයක් ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. පරිසරයේ ලස්සන ඡායාරූප ගතකරනවනම් මේක තමයි ඔබ භාවිතයට ගත යුතු Landscape mode එක.



සැ. යු. : තිබෙන ආලෝක තත්වය අනුව කැමරාව, අඩු shutter speed එකකට යන්න ඉඩ තියෙනව, එම නිසා කැමරාව නොසෙල්වී තබා ගැනීම සඳහා tripod එකක් භාවිත කරන්න පුළුවන්නම් හොඳයි.


Sports mode (Action mode)






චලනය වෙන වස්තුවක් ඡායාරූපගත කරනකොට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. ක්‍රීඩකයෙක්, ගමන් කරන වාහනයක්, දුවන සතෙක් වගේ ඡායාරූපයක් ගැනීමේදී මෙම mode එක හුඟක් ප්‍රයෝජනවත්. මෙහිදී කරන්නෙ, චලනය වන වස්තුව නිශ්චල කර (freeze) ඡායාරූපය ලබා ගැනීම. මේකට ටිකක් හැකියාව ඕනෙ, මොකද චලනය වන වස්තුවකට නාභිගත කර ගැනීම ටිකක් අපහසු කාර්යයක් නිසා.
නමුත් සමහර කැමරා වල මීට විසඳුමක් තිබෙනව, AI SERVO. ඒකෙන් කරන්නෙ, චලනය වන වස්තුවට එක්වරක් නාභිගත කරගත් වහාම එම ස්ථානයට නාභිය සිරකර ගැනීම (Focus Lock). එවිට වස්තුව කොහේ ගියත් හැම වෙලේම කැමරාව වස්තුවට නාභිගත වෙලා තමයි තියෙන්නෙ. එක දිගට ඡායාරූපාවලියක් (continuous shooting) ගැනීමේදි මේක ඉතාම ප්‍රයෝජනවත්.







Night mode

නමෙන්ම තේරෙනවනෙ මොකද්ද කියල? අඳුරු අවස්ථා වලදී (අඩු ආලෝක තත්ව යටතේ) ඡායාරූප ගැනීමට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. පෙරබිම (foreground) ආලෝකමත් කිරීමට සැණෙලිය (shutter) ක්‍රියාත්මක වන අතරම, පසුබිමෙන් (background) වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉතා අඩු shutter speed එකක් භාවිත වෙනව. දිගු වේලාවක් ශටරය විවෘත වෙලා තියෙන නිසා, tripod භාවිතය අත්‍යවශ්‍යයි.
නමුත් ඔබට ඕනෙ නම් නිර්මාණාත්මක, විනෝදාත්මක ඡායාරූපයක් ගන්න, පසුබිම බොඳ කරල එහෙම, අතේ තියාගෙන ඡායාරූපය ගත්තට කිසිම වැරැද්දක් නෑ.
ආලෝකයෙන් පිරි, රාත්‍රී සාදයක්ට නම් කියාපු mode එක. ලස්සන ඡායාරූප ටිකක් ගන්න පුළුවන්.






Video mode
සමහර කැමරා වලින් පුළුවන් ඡායාරූප ගැනීමට අමතරව, විඩියෝ දර්ශනත් සටහන් කරගන්න, මෙම mode එක තෝරාගත්තම ඔබට video recording කරන්න පුළුවන්.


මීළඟට කතා කරමු, creative zone එක ගැන. ඔබ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙන් වෙන්න කැමති නම් මෙම modes ටික ගැන හොඳට දැනගෙන ඉන්න ඕනෙ.

Tuesday, September 1, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් ටිකක්.

මෙතැන් සිට ඉදිරියට කැමරාවෙ තියෙන දේවල් ගැන කියන්න ඉන්න නිසා මේ දේවල් ටික ගැන මුලින් කියල ඉන්න ඕනෙ. නැත්තම් පස්සට කරදර.

ISO speed
ISO speed කියල කියන්නෙ කැමරාවේ සංවේදීතාවය සමඟ බැඳුනු දෙයක්. ඔයාල සේයා පට යොදාගන්නා කැමරා භාවිත කරල තියෙනවනම් ඒ සේයා පටයේ තියෙන ISO 100 නැත්තම් ISO 200 කියල තියෙන ඉලක්කම ගැන හිතල තියෙනවද? ඒ තමයි ISO speed එක. ඒකෙන් කියන්නෙ ඔය කියල සේයා පටය ආලෝකයට කෙතරම් සංවේදීද කියන එක. ඉලක්කමේ විශාලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේදීතාවයත් වැඩි වෙනව.
සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ගනිද්දි ISO100 හොඳටම ඇති. හවස් වරුවකට 400 වඩාත්ම ගැළපෙනව. රාත්‍රියේදී, අඳුරු පරිසරයකදී ගන්නවනම් 800, 1600 වගේ විශාල ISO අගයක් තියෙන එකක් පාවිච්චි කරන එක හොඳයි.
මේක 25, 50, 100, 200, 400, 800, 1600, 3200 කියන අගයන්ගෙන් තියෙනව.
ෆිල්ම් කැමරාවකදි එහෙම වෙනස් කරන ISO speed එක ඩිජිටල් කැමරාවකදි කැමරාව තුළ තිබෙන සැකසුම් වෙනස් කිරීමෙන් ලබා ගන්න පුලුවන්.


Exposure (අනාවරණය)
Exposure කියල කියන්නෙ, ඡායාරූපය ගැනීමේදී කැමරාවේ සංවේදකය / සේයා පටය මතට වැටෙන සියලු ආලෝක ප්‍රමාණයට. ඒක මනින්නෙ ලක්ස් තත්පර (Lux seconds) වලින්. මේක රඳා පවතිනව කැමරාවේ ශටරය ඇරිල තියෙන කාලයත්, කැමරාව තුලට ආලෝකය ලබා ගන්න සිදුරේ විෂ්කම්භයත් මත (aperture). ශටරය ඇරිල තියෙන කාලෙ වැඩිවෙනකොට අනාවරණ කාලයත් වැඩි එනව. නැත්තම් aperture සයිස් එක ලොකු වෙන්න ලොකු වෙන්නත්, කැමරාව තුළට වැටෙන ආලෝකය වැඩි වෙනව. ඒ කියන්නෙ exposure එක වැඩි වෙනව කියන එක තමයි.

Aperture
Aperture කියල සරළව කියන්නෙ "සිදුර" කියන තේරුම. කැමරාවේ කාචය හරහා එන ආලෝකය කැමරාව තුළට යන ප්‍රමාණය පාලනය කරන සිදුරට තමා aperture එක කියල කියන්නෙ. අපිට පුළුවන් ඒ සිදුරේ ප්‍රමාණය පාලනය කරල, කැමරාවේ ආලෝක සංවේදකය මතව වැටෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න.
මේක බලන්නකො. පේනවද?

සිදුර ලොකු වෙන්න ලොකු වෙන්න, ඇතුළට යන ආලෝක ප්‍රමාණය වැඩි වෙන නිසා ඡායාරූපය ටික ටික ආලෝකමත් වෙනව. මොකද්ද ඔයාලට මතක් වෙන්නෙ?.......
ආලෝක ප්‍රමාණය වැඩි වෙනව කියන්නෙ මොකද්ද?
Exposure එක වැඩි වෙනව කියන එක නේද?
තව ටිකක් තියෙනව කියන්න. Aperture size එක වෙනස් වෙනකොට ඡායාරූපයේ Depth Of Field එකත් වෙනස් වෙනව. ඒ මොකද්ද කියල තව ටිකකින් කියල දෙන්නම්.

Shutter Speed
Shutter Speed කියල කියන්නෙ කැමරාව තුළට ආලෝකය ලබා ගන්නකොට අරින වහන දොර කොච්චර වෙලා ඇරගෙන ඉන්නවද කියන එකයි. එතනදිත් අර ඉස්සෙල්ල කිව්ව සිද්දියම වෙනව, වැඩි වෙලා ඇරගෙන හිටියොත් වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළට එනව, අඩු වෙලාවක් ඇරගෙන හිටියොත් ඇතුළට එන ආලෝක ප්‍රමාණය අඩු වෙනව.
ඒක මනින්නෙ තත්පර වලින්, හැබැයි කියන්නෙ තත්පරයකින් කීයෙන් පංගුවක්ද කියලයි. උදා: 1/1000 s, 1/500 s, 1/250 s, 1/60 s, 1/30 s, 1/15 s, 1/8 s, 1/4 s, 1/2 s, 1 s, 2 s, ...
මේක බැලුවම ඔයාලත තේරේවි shutter speed එක වෙනස් වෙනකොට ඡායාරූපයට මොකද වෙන්නෙ කියල.


Focal length
ඇත්තම කිව්වොත් කැමරාවක තියෙන්නෙ එක කාචයක් නෙමෙයිනෙ, කාච පද්ධතියක්. ඉතින් ඒ කාච පද්ධතියෙම සංයුක්ත නාභිය දුර තමා මේ focal length කියල කියන්නෙ. (හැබැයි සරළ point and shoot කැමරාවක තියෙන්නෙ ස්ථිර නාභිය දුරක් තියෙන එක කාචයක් විතරයි)
කාච පද්ධතියේ නාභිය දුර අනුව ඒව කොටස් 3 කට බෙදන්න පුලුවන්. ඒව ගැනත් ඉස්සරහට සවිස්තරව කියන්නම්.
ඒක වෙනස් වෙනකොටත් ඡායාරූපයට එක එක වෙනස්කම් වෙනව.
මෙතනදිත් එනව මම තාම ඔයාලට කියල නොදුන්න අර ඉස්සෙල්ලත් කිව්ව එක, Depth Of Field. Focal length එක වැඩි වෙන්න වැඩි වෙන්න depth of field එක අඩු වෙනව, focal length අඩු වෙන්න අඩු වෙන්න depth of field එක වැඩි වෙනව.

Depth Of Field (DOF)
ඡායාරූපයේ තියෙන ගැඹුර තමයි මේ Depth Of Field එක කියල කියන්නෙ. ගැඹුර වැඩි වෙනව කියන්නෙ වැඩි ප්‍රදේශයක තියෙන දේවල් හරියට පැහැදිලිව පේන විදිහට නාභිගත වෙලා, ගැඹුර අඩු වෙනව කියන්නෙ පොඩි ප්‍රදේශයක් විතරයි නාභිගත වෙලා තියෙන්නෙ.
මේතන මේ ප්‍රදේශය කියල කියන්නෙ මුලු ඡායාරූපයේ වර්ගඵලය ගැන නෙමෙයි, එක එක වස්තු පිහිටි තලයන් ගැන. ගැඹුර වැඩි වෙනකොට තලයන් ගොඩක් නිවැරදිව නාභිගත වෙනව.
බලන්නකො මේව.
මේකෙ DOF අඩුයි. බලන්න, දකුණු පැත්තෙ තියෙන මාර්ග සංඥා පුවරුව විතරයි නේද පැහදිලිව නාභිගත වෙලා තියෙන්නෙ.

මේකෙ DOF වැඩියි. මුළු ප්‍රදේශයම හොඳින් නාභිගත වෙලා තියෙන හැටි බලන්න.


Zooming
දුරස්ථ දෙයක් ඡායාරූපයකට හසු කර ගැනීමේදී ඒ දෙය කැමරාව මගින් ලඟට ගෙන්න ගන්න පුලුවන්. එක අතකින් කිව්වොත් ඒක ව්ශාලනයක්. ඒකට තමා zoom කරනව කියල කියන්නෙ.
ඒකෙත් කොටස් දෙකක් තියෙනව optical හා digital කියල. ඒ ගැන විස්තර ඉදිරියට. විවිධ නාභිය දුර සහිත කාච පද්ධතියක තමයි , කැමරාවෙ තියෙන්නෙ. ඒකෙ නාභිය දුර වෙනස් කිරීමෙන් පුලුවන් zoom එක වෙනස් කරන්න.
විශාලනයට අමතරව මේකෙන් තව ලස්සන වැඩ දාන්න පුලුවන්.


Saturday, August 29, 2009

මේ විභේදනය මෙච්චර වැදගත් ඇයි?

විභේදනය කියන එක සරළවම හැඳින්වුවොත් ඒකෙන් කියන්නෙ ඡායාරූපයේ විශාලත්වය ගැන. විභේදනය වැඩි වෙන්න වැඩි වෙන්න ඡායාරූපයේ විශාලත්වය වැඩි වෙනව.
බලන්න මේ වගුව. ඒකෙ පෙන්නන්නව ඒ ඒ විභේදන වලින් ගත්තු ඡායාරූපයක් තත්වය බාල නොවී මුද්‍රණය කර ගත හැකි විශාලත්ව.

විභේදනය
මුද්‍රණ කඩදාසියේ ප්‍රමාණය (අඟල්)
1 MP
4×6 5×7
2 MP
5×7 – 8×10
4 MP
8×10 – 11×14
8 MP
11×14 හා ඊට විශාල

මම නම් ඔබට යෝජනා කරන්නෙ 2 – 3 MP වගේ අගයක් තෝරා ගන්න කියල. එතකොට එය ඔබට, මුද්‍රණය කරන්නත් පරිගණකයක් තුළ තබා ගන්නත් හොඳ තත්වයක් ලබා දෙනව.
සැළකිය යුතුයි:
ඩිජිටල් කැමරාවකින් ලබා ගන්නා 2 MP ඡායාරූපයක තත්වය, 2 MP ජංගම දුරකථන කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපයක තත්වයට සමාන කළ නොහැකිය.
හේතුව:
ජංගම දුරකතනයක ඇති කැමරාවේ කාචය ඉතා කුඩා බැවින් ලබා ගන්නා ආලෝක ප්‍රමාණයද අඩුය, එම නිසා එමගින් ලබා ගන්නා ඡායාරූපයක් එම තත්වයන් යොදා ලබා ගන්නා ඩිජිටල් කැමරා ඡායාරූපයකට වඩා තත්වයෙන් අඩුය.