Monday, December 28, 2009

ඡායාරූපයක ගැඹුර (DOF)

ඡායාරූපයක ගැඹුර නැත්තම් Depth Of Field කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ල ලිපියක මම කියල ඇති. (ඒක මෙතනින් කියවන්න

ඉතින් ගැඹුර වැඩි නම් (larger DOF) ලඟ වගේම ඈත වස්තුත් නාභිගත වෙනව, ගැඹුර අඩු නම් (shallow DOF) එක වස්තුවක් නැත්තම් එක තලයක් විතරයි නාභිගත වෙන්නෙ. 


කොහොමද ගැඹුර අඩු ඡායාරූපයක් ගන්නෙ?
මෙහිදී පසුබිම ඇති වස්තූන් බොඳ කරල දාල අවශ්‍ය වස්තුව පමණක් තියුණුව පැහැදිලිව, මතු කරල ලබා දෙනව.
මේක කරන්න පුළුවන් අවස්ථා 2ක් තියෙනව.
  • Portrait Mode  
  • Macro Mode
පළමුවැන්න භාවිත කරන්නෙ පුද්ගල ඡායාරූප ගන්න, දෙවැන්න සමීප වස්තූන්ගේ ඡායාරූප ගන්න.


Portrait Mode
මුලින්ම කැමරාව Portrait mode එකට දාගන්න. එතකොට කැමරාව විශාල aperture එකකට සකස් වෙනව.
ඕනෙ නම් Aperture Priority mode එකට දාගෙන අවශ්‍ය පරිදි සැකසුම් සකසා ගන්න.
අවශ්‍ය අවස්ථා වල telephoto lens එකක් භාවිතා කරන්න.
වස්තුව / පුද්ගලයා මගින් ඡායාරූපය පුරවාගන්න.
වස්තුවට ලන් වෙන්න ලන් වෙන්න DOF අඩු වෙනව.
දැන් හරි, ඡායාරූපය ගන්න.




Macro Mode
මේකෙත් වැඩි වෙනසක් නෑ. portrait mode එකට නැතුව macro mode එකට කැමරාව සකසාගන්න.
ඊට පස්සෙ වස්තුවට ලන් වෙලා, හරියට නාභිගත කරගෙන ඡායාරූපය ගන්න තමා තියෙන්නෙ.
අවශ්‍ය නම් macro lens එකක් භාවිතා කරන්න.






කොහොමද ගැඹුර වැඩි ඡායාරූපයක් ගන්නෙ?
මේ ආකාරයේ ඡායාරූප ගන්න පාවිච්චි කරන්නෙ Landscape mode එක. මේකෙදි ඡායාරූපය තුළ තිබෙන සියළුම වස්තූන් නාභිගත කරගනු ලබනව. ලස්සන පරිසර දර්ශනයක් ගන්න මේක තමා පාවිච්චි කරන්න ඕනෙ. 
මුලින්ම කැමරාව landscape mode එකට දාගන්න. එතකොට කුඩා aperture එකකට කැමරාව සකසුම් සකසා ගන්නව.
ඕනෙ නම් Aperture Priority mode එකට දාල අවශ්‍ය පරිදි DOF හදාගන්න ඔයාලට පුළුවන්.
Wide Angle Lens එකක් පාවිච්චි කරල ඉතා ගැඹුරු DOF එකක් ලබා ගන්න පුළුවන්.
වස්තුවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න, DOF වැඩි වෙනව.




ඊලඟ ලිපියෙන් RAW images ගැන බලමු.



Tuesday, December 1, 2009

Exposure එක bracket කරන්න

Exposure bracketing වලදි කරන්නෙ අපි කියන නිරාවරණ අගයක ඉඳන් ඊට වඩා නිරාවරණය වැඩි (over exposed) හා අඩු කර (under exposed), එම අවස්ථාවේ තවත් ඡායාරූප කිහිපයක් ගැනීමයි.
ඔබේ කැමරාවෙ වර්ගය අනුව එසේ ලබා ගන්නා ඡායාරූප ගණන වෙනස් වෙන්න පුළුවන්, එය 3ක් හෝ 5ක් වෙන්න පුළුවන්. පළමු ඡායාරූපය සම්මත නිරාවරණ තත්වය යටතේ ලබාගෙන, දෙවැන්න ගන්නෙ over expose කරල, තෙවැන්න under expose කරල ගන්නව.  

මුලින්ම කැමරාව Automatic bracketing mode එකට හදා ගන්න. (AEB හෝ BKT)



ඉන්පසු අවශ්‍ය ඡායාරූපය ලබා ගන්න. ඔබේ කැමරාව තිබෙන්නෙ Burst හෝ Continuous හෝ Continuous Drive mode එකේ නම් ඔබට shutter බොත්තම ඔබන්න වෙන්නෙ එක පාරයි, Single Shot mode එකේ නම් තියෙන්නෙ කිහිප පාරක් ඔබන්න වෙයි. අවශ්‍ය නම් ඔබට පුළුවන් නිරාවරණ මට්ටම ඔබට අවශ්‍ය ලෙස සකසල bracket exposure කරන්න. (manually bracket the exposure)
බලන්නකො මේ පහලින් තිබෙන ඡායාරූප, මේව අර කිව්ව විදිහට bracket exposure කරල ගත්තු ඒව. පළවෙනි එක over exposed, දෙවැන්න normal exposure, තෙවැන්න under exposed.



මේක බලන්න, මේ exposure levels හදාගන්න තියෙන screen එක. එතනදි ඔයාලට පුළුවන් over හා under exposures සඳහා exposurelevel එක හදා ගන්න.



හරි මේක මෙහෙම කළා කියමුකෝ. ඒත් මොකද්ද මේකෙ තියෙන ප්‍රයෝජනේ? ප්‍රයෝජනේ තමයි, මේකෙන් අපිට හිතාගන්න පුළුවන්, එම අවස්ථාවේ එම ආලෝක තත්වයට ගැළපෙන හොඳම නිරාවරණ මට්ටම මොකද්ද කියල තීරණය කරගන්න පුළුවන් එක. ඊට පස්සෙ එක තෝරාගත් නිරාවරණ මට්ටම පාවිච්චි කරල අපිට ඡායාරූප ගන්න පුළුවන්.


Sunday, November 22, 2009

Aperture Priority Mode එකෙන් සෙල්ලං දැමීම

මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව Aperture එක ඔබට කැමති ලෙස සකස ගන්න, shutter speed, focus, white balance, ISO කියන දේවල් කැමරාව මගින් ගැළපෙන ලෙස සකසා ගන්නව. Aperture එක වෙනස් කිරීමෙන් වෙන්නෙ ඔබට අවශ්‍ය ලෙස Depth Of Field සකසා ගත හැකි වීමයි. එහි ඉලක්කම (Aperture value) වැඩි වෙන්න වැඩි වෙන්න, විවරයේ ප්‍රමාණය කුඩා වෙනවා. එවිට කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය අඩුයි, එවිට DOF එක වැඩි වෙනව. Aperture value එක අඩු වන විට විවරය විශාල වෙනවා. එවිට කැමරාව තුළට එන ආලෝක ප්‍රමාණය වැඩියි, එවිට DOF එක අඩු වෙනව.

Aperture එක අනුව කැමරාව මගින් අවශ්‍ය ලෙස shutter speed එක තෝරා ගන්නව. කුඩා Aperture value එකකට වේගවත් shutter speed එකකුත් විශාල Aperture value එකකට අඩු shutter speed එකකුත් ලෙස කැමරාව shutter speed එක සකසා ගන්නව. කැමරාව A (හෝ Av) කියන මෝඩ් එකට දාගන්න. 



ඡායාරූපයට අවශ්‍ය වස්තූන් මත නාභිගත කරල, ඡායාරූපය ගන්න.

මේව බලන්නකො, මේ තියෙන්නෙ එකම අවස්ථාවක්, වෙනස් Aperture values දෙකකින් ගත්තම පේන හැටි.

Aperture Priority | Shutter Speed 1/25 | Aperture Value 8 | ISO Speed 50


Aperture Priority | Shutter Speed 1/1000 | Aperture Value 3.2 | ISO Speed 50

මේ වගේම ඔබට පුළුවන් shutter Priority (S/Tv) මෝඩ් එකෙත් වැඩ කරන්න, ඒකෙදි වෙන්නෙ shutter speed එක තේරීමට ඔබට අවස්ථාව දීල, අනෙකුත් සැකසුම් කැමරාව මගින් සිදු කිරීම.

Friday, November 13, 2009

Macro Mode එකේ ඉඳන් Close-Ups ගන්න

මැක්‍රො මෝඩ් එක තියෙන්නෙ ඉතා කුඩා දේවල් සමීපව ඡායාරූප ගත කරන්න. (අන්වීක්ෂකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි හොඳේ :D ) මෙහිදී ඔබට පුළුවන් මලක්, කෘමියෙක් වගේ දේවල් ඉතා සමීප ලෙස ඡායාරූප ගත කරන්න. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක නම් එහි සීමාවක් තිබෙනව, මොකද පාවිච්චි කරන්නෙ තිබෙන කාච පද්ධතියම නිසා, DSLR එකක් පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් macro lens පද්ධතියක් පාවිච්චි කරන්න, එමගින් අල්පෙනෙති තුඩක් තරම් කුඩා දේවල් වල ඡායාරූප උනත් ගන්න පුළුවන්.

දාගන්නකො කැමරාවෙ මෝඩ් එක මැක්‍රො මෝඩ් එකට (මලක අයිකන් එකක් තියෙන්නෙ, අන්න එතනට).


දැන් ඉතින් මොකක් හරි කුඩා දෙයක් තෝරාගෙන ඡායාරූප ගන්න තමයි තියෙන්නෙ.
මැක්‍රො  ඡායාරූප ගැනීම සාමාන්‍ය ඡායාරූප ගැනීම තරම් ලේසි නෑ, මොකද වස්තුවට හුඟාක් ලන් වෙලා ඉන්න නිසා කැමරාවෙ පොඩිම සෙලවීමක් උනත් ලොකු වෙනසක් කරනව, අත එහෙම හෙල්ලුනොත් ඡායාරූපයම සවුත්තු වෙන්න ඉඩ තියෙනව.
එම නිසා මැක්‍රො මෝඩ් එකෙන් ඡායාරූප ගැනීමේදී tripod එකක් භාවිතය ඉතාම ගැළපෙනව. (ඇත්තම කිව්වොත් ඉතාම වැදගත්)
DSLR එකක් එක්ක macro lens පාවිච්චි කරද්දි තත්වය ටිකක් වෙනස්. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් තරම් ලේසි නෑ. ඒ ගැන ඉදිරියට කියන්නම්.


Friday, November 6, 2009

Auto Mode හා Manual Mode

ඡායාරූප ගැනීමේදී කැමරාවෙ තිබෙන සැකසුම් දෙකක් තමයි, Manual හා Auto කියන්නෙ. සරළව බලමු මේව ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියල.

Auto Mode

මෙහිදි සියළුම සැකසුම් කැමරාව විසින්ම කරනව, focus, aperture, shutter speed, ISO, white balance වගේම  flash එක අවශ්‍යද නැද්ද යන වගත්. 
කරන්නෙ මෙහෙමයි.
  • කැමරාවෙ ප්‍රධාන Dial එක Auto යන සැකසුමට කරකවන්න.
  • View Finder එක තුළ ඔබේ ඡායාරූපය compose කර ගන්න.
  • Shutter බොත්තම භාගයක් දුර එබීම මගින් අවශ්‍ය ලෙස නාභි ගත කරගන්න.
  • Shutter බොත්තම සම්පූර්නයෙන් එබීම මගින් ඡායාරූපය ගන්න.
Portrait Mode කියන්නෙත් තවත් Auto Mode එකක්. එහිදී කරන්නෙ සමීප රුවක් ඡායාරූපයට ගන්න එකනෙ. ඊට අදාල ලෙස කැමරාව අවශ්‍ය සැකසුම් සකසා ගන්නව.

Manual Mode

මේක නම් ලේසි වැඩක් නෙමෙයි, අවශ්‍ය සියළුම සැකසුම් ඔබටම හදන්න වෙනව, Focus, aperture, shutter speed, ISO, white balance හා සැනෙළියේ අවශ්‍යතාවය වගේ සියළුම සැකසුම් ඔබට හදන්න වෙනව.
කරන්නෙ මෙහෙමයි.
  • මුලින්ම ප්‍රධාන Dial එක M කියන සැකසුමට කරකවන්න.
  • අවශ්‍ය සැකසුම් කරගන්න. 
  • View Finder එක තුළ ඔබේ ඡායාරූපය compose කර ගන්න.
  • Shutter බොත්තම භාගයක් දුර එබීම මගින් අවශ්‍ය ලෙස නාභි ගත කරගන්න.
  • Shutter බොත්තම සම්පූර්නයෙන් එබීම මගින් ඡායාරූපය ගන්න.
වෑදගත් දෙයක් කියන්නම්, ඔබ සාමාන්‍ය ඡායාරූපයක් නම් ගන්නෙ, නැතිනම් ඔබ කැමරාවක් භාවිතය ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් නම් ඔබට ගැලපෙන්නෙ Auto Mode එක. 
Manual Mode එක භාවිතා කරන්න නම් ඔබට එම සැකසුම් සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි.
හැබැයි නිර්මාණාත්මක ඡායාරූපයක් ගැනීමට බලාපොරොත්තු වෙනව නම් ඔබට ගැළපෙන්නෙ Manual Mode එකම තමයි.

Saturday, October 31, 2009

වස්තුව ආලෝකමත් කරන්න

එළිමහනේ ඡායාරූප ගැනීමේදී හොඳම වෙලාව තමයි උදේ වරුව සහ හවස් වරුව. මොකද කිව්වොත් ඒ වෙලාවට ආලෝකයයත් සෞම්‍යයි, සෙවණැලි දිගයි. පුද්ගල ඡායාරූප වලට නම් දවල් කාලය හරිම නරකයි, තද සෙවණැලි, පුන්චි කරගත්තු ඈස්, කැතයිනෙ නේද? එහෙම වෙලාවට ඡායාරූප ගන්නම ඕනෙ නම් එම පුද්ගලයාව සෙවණකට එක්කගෙන ගිහිල්ල ඡායාරූපය ගන්න. Fill flash එකක් ගහල අඳුරු තැන් ආලෝකමත් කරගන්න.





මතකයේ තබාගන්න, වළාකුළු සහිත දවස්, පුද්ගල ඡායාරූපයන් ගැනීමට ඉතාම හොඳයි.
  • පසුබිම ආලෝකමත් අවස්ථා (back lighting) වලදි ඡායාරූප ගැනීමේදී හුඟක් සැළකිලිමත් වෙන්න ඕනෙ. නිර්මාණාත්මක ඡායාදර්ශනයක් ගන්න ඕනෙ නැත්තම් මේ ගැන සැළකිලිමත් වෙන්න වෙනවා. කෑමරාව ස්වයංක්‍රීයව එම ආලෝකයට ගැළපෙන විදිහට සැකසුම් කරගත්තොත් පෙරබිමේ තිබෙන සියළුම දේවල් අඳුරු වෙයි. එම නිසා Fill flash එකක් භාවිතා කරන්න. සමහරවිට සැණෙලිය ඔබට manually on කරන්න වෙයි.
  • නිවෙසක් තුළ නම් ඡායාරූපය ගන්නෙ, එම වස්තුව හෝ පුද්ගලයාව, සෘජුව ආලෝකය නොවැටෙන ජනේලයක් අසළ රඳවා ඡායාරූපය ගන්න. 
  • නිවෙසක් තුළ අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූපයක් ගන්නා විට කෑමරාවෙ ඈති සැණෙලිය භාවිතා කරන්න, තවත් ආලෝකය අවශ්‍ය නම් මේස ලාම්පු වගේ දේවල් භාවිතා කරන්න. මතක තබා ගන්න, ආලෝක ප්‍රභවයන් වස්තුවට අංශක 45ක ඇලයකින් තබන්න. 
  • ආලෝක ප්‍රභවයන් කෑමරාව ඉදිරියෙන් නොතිබෙන්නට වග බලාගන්න, නැත්තම් කාචය දිලිසීම්, වෘත්තාකාර ආලෝක වළලු, දේදුනු එහෙම පේන්න ගනී.
  • අවශ්‍ය පරිදි පරාවර්තක, විසරක භාවිතා කරන්න. 
ආලෝකය ගැන සැළකීමෙදී, ආලෝකයේ දිශාව, වර්ණය, තීව්‍රතාවය, වැනි දේවල් ගැන සිතිය යුතුයි. ස්වභාවික ආලෝකය හා කෘතිම ආලෝකය එකිනෙකට වෙනස්.
භූමි දර්ශන ඡායාරූපයට ගැනිමේදී සැනෙළියෙන් ප්‍රයෝජනයක් නෑ. එය ගැලපෙන්නෙ, ආසන්න වස්තූන් ඡායාරූපයට නඟන විට පමණයි, නමුත් මතක තබාගන්න, සැණෙලිය මගින් ඡායාරූපයේ ගැඹුර වැඩි කරනව.

Sunday, October 25, 2009

විසරක (Diffusers) භාවිතය

මොනවද මේ විසරක (diffusers)? 
විසරකයකින් කරන්නෙ, සැණෙළියෙන් හෝ වෙනත් ආලෝක ප්‍රභවයකින් පැමිණෙන ආලෝකය විසුරුවා හැර, තද සෙවණැලි, තියුණු ලෙස ආලෝකවත් වූ ප්‍රදේශ, දිලිසුම් ඇතිවන ප්‍රදේශ, නැති කර ආලෝකය හරි හැටි පාලනය කිරීමයි. වෙනත් වචන වලින් කිව්වොත් ආලෝකය මෘදු කිරීම තමයි විසරකයකින් වෙන්නෙ. 
ඔබේ කැමරාවේ සැණෙළිය සමඟ පහත රූපයේ වැනි විසරකයක් ලැබුනා නම් එය අනිවාර්යයෙන් සැණෙළියට සවි කරගත යුතුයි.

බලන්න මේ ඡායාරූප දිහා, මේවා අරන් තියෙන්නෙ හිරු එළිය යටතේ. ඉහළ ඡායාරූපය අරන් තියෙන්නෙ විසරකයක් භාවිතා කරල සූර්යයාලෝකය විසුරුවා හැරල. පහළ ඡායාරූපය අරන් තියෙන්නෙ ඍජුව වැටෙන සූර්යාලෝකය යටතේමයි. 


බලන්න වෙනස. විසරකයක් භාවිතා කළාම තියුණු දිලිසීම්, වස්තුව අපැහදිලිවීම් නැතිවී තිබෙනව.

විසරක මිලදී ගැනීමට එතරම් මහන්සි වෙන්න, මුදල් වියදම් කරන්න අවශ්‍ය නෑ, ඔබටම පුළුවන් ඔබේම විසරක සාදා ගැනීමට. හරිම සරළයි. 
කුමක් හෝ පාරභාෂක (Semi transparent) දෙයක් භාවිතා කිරීම තමා කළ යුත්තේ. තෙල් කඩදාසියක්, පාරභාෂක ප්ලාස්ටික් ටින් පියනක් වැනි දෙයක් පහසුවෙන්ම විසරකයක් ලෙස භාවිතා කළ හැකියි. 
මම පරාවර්තක ගැන කියද්දි අර ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ ගැන කිව්ව මතකද? ඒවා මොකටද භාවිතා වෙන්නෙ කියල මම ඒ වෙලාවෙ කිව්ව. 
ඒව භාවිතා වෙන්නෙ, පරාවර්තක හා විසරක ලෙස.

Wednesday, October 21, 2009

පරාවර්තක (Reflectors) භාවිතය

පරාවර්තකයක් කියන්නෙ රෙදිවලින් හෝ එවැනි ද්‍රව්‍යයකින් සෑදූ රිදී වැනි දිලිසෙන ද්‍රව්‍යයක් ආලේප කරන ලද තිරයක් වැනි දෙයක්. එමගින් කරන්නෙ තද සූර්යයාලෝකය, සැණෙලියෙන් ලැබෙන තද ආලෝකය, පරාවර්තනය කර එම ආලෝකය නොලැබෙන ස්ථාන ආලෝකමත් කිරීම. ඔබ දැකල ඇතිනෙ ඡායාරූපාගාර වල තිබෙන සුදු කුඩ, ඒවා භාවිතා වෙන්නෙ පරාවර්තක ලෙස. (විසරක (Diffusers) ලෙසත් ඒවම භාවිතා වෙනවා.)



තද ආලෝක තත්ව යටතේ පුද්ගල ඡායාරූප ගන්නකොට ඒ පුද්ගලයාගේ මුහුණට ආලෝකය කෙලින්ම නොවැටෙන්න වග බලාගන්න. ඇස් පුංචි කරගෙන වපර කරගෙන ඡායාරූපයකට ඉන්න බෑනෙ.
ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයාගේ මුහුණට පහළින් පරාවර්තකයක් තබන්න. (හැබැයි ඡායාරූපයට අහුවෙන්න නෙමෙයි.) එමගින්, අස් අවට, නාසය පහළ, නිකට, බෙල්ලේ ඉහළ කොටස වගේ හරියට ආලෝකමත් නොවූ ස්ථාන ආලෝකමත් කරගන්න.
ඇතුළත ස්ථානයකදී ජනේලයක් අසලදී, පුද්ගලයෙකුගේ, වස්තුවක, සුරතලෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී ජනේලයට අනෙක් පසින් පරාවර්තකයක් අටවා, ඇතිවන සෙවණැලි වළක්වා ගන්න පුළුවන්.

Saturday, October 17, 2009

ත්‍රිපාදයක් (Tripod) භාවිතය


අඩු ශටර වේගයක් යොදාගෙන ඡායාරූප ගැනීමේදී ත්‍රිපාදයක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මොකද කිව්වොත් කැමරාවේ ශටරය දිගු වේලාවක් විවෘතව තිබෙන නිසා කැමරාව නිශ්චලව පැවතීම අනිවාර්යයි. නැතිනම් ඡායාරූපය සෙලවී බොඳවී යනව. මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනව wider aperture එකක් පාවිච්චි කරල ඡායාරූප ගන්න. අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමේදී මෙය අත්‍යවශ්‍යයි. Telephoto lens එකක් භාවිතා කරන අවස්ථා වල, macro lens එකක් භාවිතා කරන අවස්ථා වලදිත් ත්‍රිපාදයක් භාවිතා කළ යුතුයි.
ත්‍රිපාදයක් එහෙ මෙහෙ අරන් යන්න අමාරු නම් monopod එකක් අරන් යන්න. ඒකෙ තියෙන්නෙ එක කකුලයි. රැගෙන යාමත් ලේසියි. අඩු ඉඩක් ගන්නෙ, කුඩා ඉඩක උනත් පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්.

දැන් ජංගම දුරකථන වලටත් ත්‍රිපාද තියෙනව, ජංගම දුරකථන කැමරාවකිනුත් ලස්සනට ඡායාරූප ගන්න පුළුවන්, මේව පාවිච්චි කරල.

වැදගත් දෙයක්, ඔබේ කැමරාවෙ/කාච පද්ධතියෙ Image Stabilization හෝ Vibration Reduction පිළිබඳ සැකසුම් තිබෙනව නම් ඒව අක්‍රිය කරන්න. (දෙකෙන්ම කරන්නෙ එකම දේ නෙ, ඉතින් මොකටද එකම වැඩේ කරන්න දෙකක් පාවිච්චි කරන්නෙ.) නැත්තම් සමහර කැමරාවල නම් ත්‍රිපාදයක් සම්බන්ධ කරල කියල හඳුනා ගන්න උපක්‍රමත් තියෙනව.

Friday, October 9, 2009

පෙරහන් (Filters) භාවිතය

මේව ඉතින් ඇනලොග් වගේම ඩිජිටල් ඒවටත් පාවිච්චි කරනව. ඩිජිටල් කැමරා වලට මෙන්න මේ වගේ පෙරහන් වාසිදායක වෙනව.



Polarizing filters
ජලයෙන් හා වීදුරු මගින් සිදු වන අනවශ්‍ය පරාවර්තනයන් වළක්වනවා. contrast සහ color saturation වැඩි කිරීමටත් උපකාරී වෙනවා. මේව වඩාත්ම ගැළපෙන්නෙ භූ දර්ශන ඡායාරූප ගත කරද්දි තමයි. වෘත්තාකාර polarizing filter එකක් භාවිතා කරන්න මතක තියාගන්න.

Ultraviolet (UV) filters
මේක හුඟාක් වෙලාවට භාවිතා කරන්නෙ කැමරාවෙ තියෙන මිල අධික කාචය රැක ගන්න. නමුත් භූ දර්ශන ඡායාරූප ගත කරද්දි අපැහැදිලි රූප මෙමගින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒත් සමහර ඡායාරූප ශිල්පීන් නම් මෙම වර්ගයේ පෙරහන් ඩිජිටල් කැමරා හා භාවිතය අනුමත් කරන්නෙ නෑ.

Neutral density (ND) filters
මෙම්ගින් මුළු රූප රාමුවේම ආලෝක තීව්‍රතාවය අඩු කරනව. ඒ නිසා ඔබට පුළුවන් වෙනව අඩු ෂටර වේගයක් හා විශාල විවරයක් සහිතව ඡායාරූප ගන්න. මේක වඩාත් ප්‍රයෝජනවත්, ඔබට සෙලවෙන දෙයක් (දිය ඇල්ලක්, ගංගාවක් වගේ) බොඳ කරල අන්න ඕනෙ නම් හා හුඟක් ආලෝකමත් වස්තූන් ඡායාරූපයට ගැනීමේදී.

Graduated neutral density (GND) filters
මෙය ඔබට ප්‍රයෝජනවත් වේවි, වඩාත් පුළුල් ගතික ඡායාරූපයක් ගන්න, අඳුරු වගේම ආලෝකමත් ස්ථාන වක තියෙන දේවලුත් හසු කරගෙන. මේක හුඟාක් හොඳ වෙන්නෙ ආලෝකමත් අහසක් හා අඳුරු පොළවක් තිබෙන භූ දර්ශන ඡායාරූපයට ගැනීමේදී.

Infrared (IR) filters
අධෝරක්ත කිරණ පමණක් කැමරාව තුළට පෙරා ලබාදී අලංකාර රැස් විහිදෙන ඡායාරූප ලබා දෙන්නට මෙම පෙරහනට හැකියාව තිබෙනව. අඳුරු අහසක් සමඟින් දීප්තිමත් අතු කොළ ලබාදීම්ට මෙයට හැකියි.

Special effects filters
විවිධ අලංකාර නිර්මාණාත්මක දෙවල් කරන්න පුළුවන් පෙරහන් වර්ගයක්. එක එක පෙරහනට කළ හැකි විවිධ කාර්යයන් තිබෙනව. ඡායාරූපය්ට පරණ පෙනුමක් දෙන්න, පැල්ලම් ඇති කරන්න, තව ගොඩක් දේවල්...
  • තමන් පෙරහන් තෝරා ගන්නා විට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඒව තෝරා ගන්න වග බලාගත යුතුයි. තවත් වැදගත් කරුණක් තමයි, ඒව තමුන්ගෙ කැමරාවට ගැළපෙන, කැමරාවට සවි කළ හැකි ඒවා විය යුතුයි. සමහරවිට ඔබ මිලදී ගත් පෙරහන කැමරාවට සවි කිරීමට ඔබට add-on adapter එකකුත් ගන්න වෙයි.
  • Wide Angle Lense එකක් එක්ක polarizing filter එකක් භාවිතා කරන්න එපා.
  • ඩිජිටල් කැමරා වලට warming, cooling, and fluorescent conversion filters අමතක කරන්න පුළුවන්.

Tuesday, October 6, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .3 - Metering Modes

එක එක කැමරා වල එක එක විදිහෙ Metering Modes තියෙනව.  

මොකද්ද මේ Metering Modes?
මේකෙදි කරන්නෙ, ඡායාරූපයට අසුවන ප්‍රදේශයෙන් කොටසක් තෝරාගෙන එම ප්‍රදේශයේ ආලෝක තත්වයට අනුව අනාවරණ මට්ටම (Exposure Level) තේරීමයි. මේය ප්‍රධාන ආකාර 2කට හෝ 4කට බෙදනු ලබනවා.




Matrix, multi-segment, multi-zone, or evaluative metering



මේකෙදි සම්පූර්ණ ඡායාරූපයම සළකල තමයි කැමරාව, අවශ්‍ය නිරාවරණය තෝරන්නෙ. පසුබිමේ ආලොඅක තත්වය, වස්තූන්ගෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය වගේ සියළු දේවල්ම මෙහිදී කැමරාව සළකනවා.

Spot, or partial, metering



මේකෙදි කැමරාව මුළු ඡායාරූපයේම මැද ප්‍රදේශයේ 9 - 10% වගේ ප්‍රමාණයක් සළකල, එම ස්ථානයේ ඇති ආලෝක තත්වයන්ට අනුව නිරාවරණ මට්ටම තෝරා ගන්නව. මේක, වස්තුවට වඩා පසුබිම ආලෝකමත් අවස්ථා වලට හුඟාක්ම උචිතයි.

Center-weighted metering



රාමුවේ මැද ප්‍රදේශයේ ඇති ආලෝක තත්වය ගැන වඩිපුර හිතල, වටේ ගැනත් ටිකක් හිතන mode එකක් මේක. මැද සිට ඉවතට යන විට රාමුව තුළ ඇති ආලෝක මට්ටම් වල සාමාන්‍යය සළකල සම්පූර්ණ රාමුවට ගැළපෙන විදිහට නිරාවරණ මට්ටම් තෝරනව. 
සංකීර්ණ ආලෝක තත්ව ඇති දසුනකට මේක හොඳින්ම ගැළපෙනව.

Friday, October 2, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .2 - "Focusing"

ඉස්සෙල්ල ලිපියෙන් අපි white balance ගැන කතා කළා, මේකෙදි තව දෙයක් ගැන කතා කරමු. ඒ තමයි "Focusing".
මේක හරිම ලේසි වැඩක්. මේකෙ ප්‍රධාන අවස්ථා 3ක් ගැන කතා කළ යුතුයි.

Auto Focus (AF mode) කැමරාවේ සැකසුම් Auto Focus mode එකට දාන්න (AF). එවිට කැමරාව තීරණය කරාවි, නාභි ගත කළ යුතු ස්ථානය. මෙහිදී කැමරාව, එයට ලබා දී ඇති AF points වල තිබෙන වස්තූන්ට නාභි ගත කරගන්නව. ඔබට තියෙන්නෙ නාභි ගත කළයුතු වස්තුව AF point එකකට ස්ථානගත කරල ඡායාරූපය ගන්න. 
එහිත් විවිධ සැකසුම් තියෙන්න ඉඩ තියෙනව, One Shot, AI Servo or Continuous, AI Focus වගේ.
මේකෙ බලන්න මම අර කිව්ව AF points තියෙන හැටි.


Manual Focus (MF mode)
ඔබට අවශ්‍ය නම් ඔබේ අතින්ම නාභි ගත කිරීම් කරන්න, නැත්තම් නිර්මාණාත්මක ඡායාරූපයක් ගන්න, කැමරාව MF mode එකට දාගන්න. හැබැයි මෙහිදී ඔබට සිදු වෙනව අතින් කැමරාවෙ කාච පද්ධතිය සීරු මාරු කරල වස්තුවට නාභිගත කරගන්න.

Off center shooting
ඔබට ඡායාරූපය ලබා ගත යුත්තේ වස්තුව ඡායාරූපයේ කෙළවරකට වෙන්න තියල නම් ඔබ Focus Locking කියන එක පාවිච්චි කරන්න වෙනව. එහිදී වෙන්නෙ වස්තුවට නාභිගත කරගත් පසු කැමරාව වෙනස් කළත් නාභිය දුර වෙනස් නොවී තිබීම. එතකොට ඔබට පුළුවන් වස්තුව ඡායාරූපයේ පසෙකට වන්නට සකසල ඡායාරූපය ගන්න.
කරන්නෙ මෙහෙමයි, මුලින්ම AF mode එකට දාල, වස්තුව AF point එකකට කරල shutter button එක අඩක් වන්නට ඔබන්න, එවිට කැමරාව AF points වල ඇති වස්තූන්ට නාභිගත වෙනව. බොත්තම ඔබාගෙනම, අවශ්‍ය පරිදි වස්තූන් සකසාගෙන ඡායාරූපය ගන්න. (shutter button එක සම්පූර්ණයෙන්ම එබීම මගින්.)




බොහෝ විට AF/MF බොත්තම තියෙන්නෙ කැමරාවේ කාච පද්ධතිය සමඟ. බලන්න මේක දිහා, ඔබට පේනවද මම ඒ කිව්ව බොත්තම?






ඊළඟට "Metering Mode" එක ගැන බලමු.

Tuesday, September 29, 2009

කැමරාව හා බැඳුනු ප්‍රධානම දේවල් - 2 .1 - "White Balance"

ඉස්සෙල්ල ලිපියෙ දෙවෙනි කොටසක් ගැන ඒකෙ සඳහන් නොවුනට ඒකටම සම්බධ කරල මේ දේවල් ගැන කියන්න හිතුන.
අපි ඒ ලිපියෙදි apeture, zoom, ISO, shutter speed, Depth of field, exposure වගේ දේවල් ගැන කතා කළා. මේ ලිපියෙන් එතනටම සම්බන්ධ නමුත් අර කිව්ව මූලිකම එවට වඩා ටිකක් එහා ගිය දේවල් ටිකක් තමයි මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
මුලින්ම "White Balance" ගැන කතා කරමු.

White Balance
මේකෙන් කරන්නෙ වටපිටාවෙ තියෙන ආලෝක තත්වය කොයි වගේද කියල කැමරාවට කියල දෙන එක, මොකද කැමරාව දන්නෙ නෑනෙ වටපිටාවෙ ආලෝකය ලැබෙන්නෙ මොන වගේ ප්‍රභවයකින්ද කියල. සමහරවිට සූර්යයාගෙන්, නැත්තම් සංයුක්ත ප්‍රතිදීපන පහනකින්, නැත්තම් සූත්‍රිකා පහනකින් වෙන්නත් පුළුවන්නෙ.
මෙහිදි කරන්නෙ පරිසරයේ තියෙන Colour Temperature එක ගැන කැමරාවට කියන එක. ඒක නිසා අනවශ්‍ය වර්ණ වෙනස්වීම් වෙන එක වළකිනව. සාමාන්‍යයෙන් හවස් වරුවෙ තියෙන්නෙ සිසිල් නිල් පහැති ආලෝක තත්වයක්. ඉර බැස යන අවස්ථාවක, පහන් එළියක් යටතේ ඉන්නකොට එතන තියෙන්නෙ උණුසුම් කහ පැහැති ආලෝකයක්, ප්‍රතිදෙපන පහනක් යට තියෙන්නෙ කොළ පැහැති සිසිල් ආලෝකයක්. මෙහිදී කළ හැකි සැකසුම් කිහිපයක් ඔබට ලැබෙනව, ගැළපෙනම එක තෝරා ගන්න.

Daylight or Sunny
ඉතා හොඳ සූර්යයාලෝකයක් තියෙන වෙලාවට මේක තෝරන්න.

Shade
සෙවණැලි තුළ ඡායාරූපය ගන්නවනම් මේක තමයි ගැළපෙන සැකසුම.

Cloudy
අහස වළාකුළු වලින් පිරිච්චි වෙලාවකට නම් ගැළපෙන්නෙ මේක තමා.

Fluorescent
ප්‍රතිදීපන පහන් ආලෝකය යටතේ ඡායාරූප ගන්නකොට මේ සැකසුම තෝරා ගත යුතුයි.

Tungsten
සූත්‍රිකා පහන් ආලෝකයෙන් පිරිච්ච තැනක ඡායාරූප ගත යුත්තේ මේ සැකසුම යටතේ.

Flash
සැණෙලිය සමඟ ඡාආරූප ගැනීමේදී තේරිය යුතු සැකසුම තමයි මේක.

Custom
මේකෙදි ඔබට පුළුවන් හරියට ම සුදු ආලෝකය කුමක්දැයි කැමරාවට පැවසීමට. ඒ කියන්නෙ අවස්ථාවට අනුව සමුද්දේශය කුමක්දැයි කැමරාවට පැවසීමට පුළුවන්. ඔබට කරන්න තියෙන්නෙ කැමරාව සුදු යැයි හඳුනා ගතයුතු දෙයට එල්ල කර මෙම සැකසුමේදී ඡායාරූපයක් ගැනීම, ඉන් පසු කැමරාව එම වර්ණය සුදු යැයි හඳුනා ගන්නව.

මෙහි ඉහළ ඡායාරූපය auto mode එකේදීත් යටින් ඇති එක Fluorescent එකේදිත් අරගෙන තියෙන්නෙ, බලන්න වෙනස.


සම්පූර්ණ ස්වයංක්‍රීය අවස්ථාවේ කැමරාව ක්‍රියා කරන විට, කැමරාව අවශ්‍ය පරිදි white balance එක සකසා ගන්නව, නමුත් ඒක හැම වෙලේම හරියන්නෙ නෑ. ඒ වගෙ වෙලාවට ඔබ manually, white balance එක සැකසිය යුතු වෙනව.
නැත්තම ඔබට පුළුවන් ඡායාරූපය පරිගණකයට ගත්තාට පසු white balance එක හදා ගන්න, මෘදුකාංග පාවිච්චි කරල. (eg: Photoshop, Gimp)

Thursday, September 24, 2009

කලාත්මක ඡායාරූපයක් ලබා ගැනීමට ඔවදනක්

අපිට කැමරාවක් අරන් හතරවටේ ෆොටෝ ගන්න පුලුවන්, ඒත් ඒවයින් කීයෙන් කීයද කලාත්මක ඒව වෙන්නෙ. චිත්‍ර ශිල්පියෙක් ඡායාරූපයක් ගන්න ගියොත් නම් ඔහු ටිකක් ඒ ගැන හිතයි, ඒත් වෙනත් සාමාන්‍ය කෙනෙක් ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.


මම පොඩ්ඩක් ඒ ගැන කියන්නම්, හැබැයි මේව නීති නෙමෙයි රීති, ඕනෙ කෙනෙකුට කඩන්න පුලුවන්.
ඡායාරූපයක ඇති වැදගත් දේවල්
  • එහි ඇති රේඛා හා වක්‍රයන් දිගේ ඇස ගමන් කරන ආකාරය.
  • ඡායාරූපයේ ඇති එකිනෙකට වෙනස් කොටස් එකට එකතු වී ක්‍රියාත්මක වන ආකාරය.
  • එහි ඇති වර්ණ සංකලනය
සරළව කිව්වොත් ඔබ ගන්නා ඡායාරූපය වෙනත් කෙනෙක් දැක්කොත් ඔහුගේ හෝ ඇයගේ හිත ඒකට ඇදිල යන විදිහට ඔබ ඔබේ ඡායාරූපය ගන්න ඕනෙ.
ඔබේ ඡායාරූපයට පුලුවන් වෙන්න ඕනෙ ඒකටම ආවේණික කතාවක් කියන්න.
ඡායාරූපයක් ලස්සන කරගන්න පුලුවන් ප්‍රධානම ක්‍රම කිහිපයක් තියෙනව. (composition methods)
  • S – Curves
  • Rule of thirds
  • Golden points

S – Curves
S – Curve එකක් කියල කියන්නෙ ඡායාරූපය බලන්නාගේ ඇස ඡායාරූපය තුළ ගමන් කරන වක්‍ර රේඛාවක්. මේ වගේ වක්‍ර රේඛා ඡායාරූපය තුළ තියෙනකොට, බලන පුද්ගලයාගේ අවධානය හැම වෙලේම ඡායාරූපය තුළ තියෙනව.



Rule of Thirds
ඔබට හිතිල නැද්ද, ඡායාරූපයක තියෙන දෙයක් ඒ ඡායාරූපයේ හරි මැද තියෙනවට වඩා පැත්තෙන් තිබ්බ නම් වඩා ලස්සනයි කියල. බලන්න මේ රූප දෙක දිහා. කොයිකද වඩා ලස්සන?


මට නම් හොඳ දකුණු පැත්තෙ එක.
අපි සලකන දෙය ඡායාරූපයේ මැද තිබ්බොත් අපිට හිතෙනව ඒක නැවතිලා කියල, ඒක පැත්තකට කලොත් අපිට හිතෙනව ඒක ගමන් කරනව කියල. ඡායාරූපයක් ගතික (dynamic) නම් අපිට ඒක වඩා ලස්සනට පේනව.
Rule of thirds කියන එකෙන් කියවෙන්නෙ, ඡායාරූපය හරියටම කොටස් 9කට බෙදුවොත්, දිග අතට හා හරස් අතට රේඛා 2 බැගින් ඇඳල, ඒ රේඛා දිගේ යන විදිහට ඡායාරූපය කොටස් වෙලට බෙදෙන විදිහට ඡායාරූපය ගන්න කියන එක. ඒ රේඛා වල ඡේදන ලක්ෂ වලට ඡායාරූපයේ වැදගත් දෙවල් ටික එන විදිහට ඒක compose කරගන්න. මොකද කිව්වොත් මිනිස් ඇස මුලින්ම යන්නෙ අන්න ඒ ලක්ෂ වලට නිසා.
බලන්න මේ ඡායාරූපය, අහස ඉහළම කොටසටත්, මුහුද මැද කොටසටත්, වෙරළ හා පොළව පහලම කොටසටත් එන විදිහට ඡායාරූපය අරන් තියෙනව. ඒත් එක්කම මේකෙ තියෙන වැදගත්ම දේ වෙන මිනිස් රූපයත් ඒ රේඛාවක් මතට අරන් තියෙනව.


මේක ගැන මොකද හිතන්නෙ?


Golden Points
මේක තවත් ක්‍රමයක්. ඡායාරූපකරණයට විතරක් නෙමෙයි, තව හුඟක් තැන් වල මේක යෙදෙනව, හැම කලාත්මක දෙයකටම වගේ. Golden ratio කියන්නෙ යම් අනුපාතයක්. ඒකෙ අගය වෙන්නෙ 1.618:1. මේ අනුපාතයට තියෙන ඕනෙම දෙයක් ලස්සනයි, සම්පූර්ණයි කියල තමයි කියන්නෙ. මේ අගය ලැබෙන්නෙ Fibonacci series කියන ශ්‍රේණියෙන්. (1, 2, 3, 5, 8 …)
දෙවන ඉලක්කම, පළමු ඉලක්කමෙන් බෙදාගෙන ගියාම අන්තිමේදි ලැබෙන අගය තමයි 1.618.
ඡායාරූපකරණයේදි මේක ඕනෙ මොකටද?
එතනදි තමයි Golden points කියන සංකල්පය එන්නෙ. ඡායාරූපයට භාවිතා කරන ප්‍රදේශයේ තියෙන දේවල් golden points වල තියෙනවනම් තමයි ඒව වඩාත්ම කැපිල පේන්නෙ. (Rule of thirds එකේ ඡේදන ලක්ෂ ටිකත් මේ ලක්ෂ වලට ලඟයි.)
අපි කොහොමද ඒ තැන් ටික හොයාගන්නෙ?
සරළයි, ඡායාරූපයක් කියන්නෙ ඍජුකෝණාස්‍රයක්නෙ, විකර්ණයක් ඇඳල, ඒකට තව ශීර්ෂයක ඉඳල ලම්භකයක් අඳින්න. ඔන්න එක Golden point එකක් ලැබුන, ඔහොමම අනිත් Golden points ටිකත් හොයා ගන්න පුලුවන්.
මේක බලන්න, මේකෙ තියෙනව අර කිව්ව ඍජුකෝණාස්‍රය 1:1.618 කියන අනුපාතයට බෙදාගෙන ගිහිල්ල golden point එක හොයාගන්න ආකාරය.


ඒවට අමතරව හොඳ ඡායාරූපයක් compose කරන්න පුලුවන් තව ආකාර තියෙනව.


Triangle
ඡායාරූපය තුළ ත්‍රිකෝණාකාර ප්‍රදේශයකට බලන්නාව හිරකරගන්න එක තමා මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ. අනිත් වටපිටාව සම්පූර්ණයෙන් බොඳ කරල දාල, ප්‍රධාන වස්තුව තුළ විතරක් බලන්නාව තබා ගැනීම තමයි මේකෙන් කරන්නෙ.



Eye Contact
ඇසෙන් ඇස ගැටීම. මේකෙන් ඡායාරූපය තුළ ගලා යාමක් ඇති කරනව. බලන්න මේ ඡායාරූපය දිහා, ළමයා බළලා දෙස බලා ඉන්නව, බළලා අපි දෙස බලා ඉන්නව. අපේ ඇසුත් ඒ දිගේම ගලා යනව නේද?




Tight portraits
පුද්ගල ඡායාරූපයක් ගැනීමෙදී වැදගත්ම දෙයක් තමයි, අනවශ්‍ය සියලුම දේවල් ඉවත් කරල පුද්ගලයා කැපී පෙනෙන ආකාරයට ඡායාරූපය ගැනීම.
බලන්න මේ ඡායාරූපය, පසුබිමේ තිබෙන ටීපෝව හා පැදුර ඡායාරූපයට අනවශ්‍යයි, ඒ නිසා ඒ දේවල් ඉවත් කරල පුද්ගලයාගෙන් ඡායාරූපය සම්පූර්ණයෙන්ම පිරවීම තමයි මෙතනදි වෙන්නෙ.


Expression (හැඟීම් ප්‍රකාශනය)
ඡායාරූපයකට හැකියාවක් තියෙන්න ඕනෙ බලන්නා සමඟ අදහස් හුවමාරු කරගන්න, බලන්නාට අදහස් දෙන්න. ඡායාරූපය හැඟීම් ප්‍රකාශනය හා ක්‍රියාකාරිත්වය අතින් ඉහළින් තියෙන්න ඕනෙ. බලන්න මේක, දරුවාගේ කුතුහලය, සෙල්ලම් බඩුවට තියෙන ආසාව, ඒ ගැන සොයාබලන්න තියෙන ආසාව ඔයාලට තේරෙනවද?


ඡායාරූපයට ලක්වන්නාගේ මට්ටමට පිවිසීම
ඡායාරූපයක් ගන්නකොට එයට ලක්වන දේහි මට්ටමට පිවිසිය යුතු වෙනවා.
පොඩි දරුවෙක්ගෙ ඡායාරූපයක් ගන්නව නම් ඔහුගේ මට්ටමේ සිට ගන්නා ඡායාරූපය තමයි වඩාත්ම කලාත්මක වෙන්නෙ. සතෙක්ගෙ ඡායාරූපයක් ගත යුත්තේ ඉහලින් නොවෙයි, එම සත්වයාගේ උසෙහි සිට සමාන්තරව.
පඩි පෙළක ඡායාරූපයක් ගන්නවනම් ඒක වඩා ලස්සන පහළ සිට ඉහළට ගත්තොත් නේද?

මේ කිව්වෙ සාමාන්‍යයෙන් භාවිතා වන ටිකක්. ඔයාලට මීට වඩා නිර්මාණශීලීව හිතන්න පුලුවන් නේද? එහෙනම් ඇයි තවත් බලා ඉන්නෙ, හිතල බලල ගන්න හොඳ, ලස්සන, කලාත්මක ඡායාරූපයක්.